විශ්‍රාමිකයින්ට රුපියල් 3,000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් කෙරේ

විශ්‍රාමිකයින්ට රුපියල් 3,000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් කෙරේ

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, මැතිවරණ කාලසීමාව තුළ එම දීමනාව ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇති පසුබිමකයි.

අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (07) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ.

රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට රජය විසින් ගෙන ඇති තීරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබුණි.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ රැස්වීමේ දී ද ඒ පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් එම නියෝගය නොතකා අදාළ දීමනාව ලබාදෙන ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීම මැතිවරණ නීතියට පටහැනි බව මැතිවරණ කොමිසම පැවසුවේය.