නිදා සිටි කොස්තාපල්ව ඇහැරවන්න ගිය කොස්තාපල් ට වෙඩි තියන්න හදලා

නිදා සිටි කොස්තාපල්ව ඇහැරවන්න ගිය කොස්තාපල් ට වෙඩි තියන්න හදලා

කහතුඩුව පොලීසියේ තනිකඩ බට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පැවසීය.

සැකකරු සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අද (18) අලුයම 5.40 ට පමණ පුද්ගලයන් දෙදෙනකු පැමිණිල්ලක් කිරීම සඳහා පොලිස් ස්ථානය තුළට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ උප සේවක ලෙස රාජකාරියේ යෙදී සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා උපසේවක පුටුව මත නිදාගෙන සිට ඇතැයි පොලිසිය පවසයි.

ඔහුව අවදි කිරීම සඳහා අනෙක් නිලධාරියා අවස්ථා කීපයකදීම කතා කර ඇතත් ඔහු අවදි නොවීම හේතුවෙන් හිසට පහරක් ගසා වතුරද වක්කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව ඒ බව දුරකථන ක්‍රියාකරු විසින් රාත්‍රී රාජකාරිය භාරව සිටි පොලිස් සැරයන්වරයෙකුටද දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාගේ පැමිණිල්ල ලියා අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොතේ සටහනක් ද තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුව මේ සම්බන්ධයෙන් දුරකථන ක්‍රියාකරු සහ සැකකාර කොස්තාපල්වරයා අතර බස්වීමක්ද සිදු වී තිබේ.

පසුව දුරකථන ක්‍රියාකරු ඔහුගේ තනිකඩ බට නිවාසය කරා පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.

මේ අතර, රාත්‍රී ජංගම රාජකාරී නිමා කළ පොලිස් සැරයන්වරයෙකු ගෙනවිත් බාර දී තිබූ පිස්තෝල ගිනි අවියක් සැකකාර පොලිස් නිලධාරියා අවිපෙට්ටියට නොදමා ඔහු සන්තකයේ තබාගෙන තිබේ.

අනතුරුව ඔහු දුරකථන ක්‍රියාකරු රැඳී සිටින තනිකඩ බට නිවාසය වෙත ගොස් එහි සිටි දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වදිමින් වෙඩි තැබීම සඳහා ගිනි අවිය ක්‍රියාත්මක කිරීමත් සමඟම දිවා රාජකාරී වලට පිටවීම සඳහා සූදානම් වෙමින් සිටි වෙනත් කොස්තාපල්වරුන් දෙදෙනකු සැකකාර කොස්තාපල්වරයා වෙත කඩා පැන ඔහු සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීම හේතුවෙන් සිදුවීමට ජීවිත හානියක් වැළකී ගිය බව පොලිස් නිලධාරියකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

23 හැවිරිදි සැකකාර කොස්තාපල්වරයා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This