පාස්කු වන්දි මුදල් වින්දිතයින්ට ගෙවා ඇති ආකාරය ගැන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගවලට අනුව මේ වනවිට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇති බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මේ බව අධිකරණයට දැනුම් දුන්නේ.
අදාළ වන්දි මුදල් වින්දිතයින්ට ගෙවා තිබෙන ආකාරය පිළිබදව වාර්තාවක් මීළග නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්නේය.
අනතුරුව අදාළ පෙත්සම ලබන පෙබරවාරි 27 වනදා යළි කැඳවීමට නියම කෙරුණි.
අදාළ පෙත්සම් මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.