පාර්ලිමේන්තු සේවකයින්ගෙන් ජනපතිට ඉල්ලීමක්
නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමේ තීරණය වෙනස් කරන්නැයි පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත හෙයින් ඒ අවස්ථාවේදී මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සේවකයෝ පවසන්නේ.
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමට රජය තීරණය කර ඇත්තේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙනය.
එසේම පාර්ලිමේන්තු සේවකයන්ට පමණක් මෙම දීමනාව ගෙවනු ලැබුවහොත් රාජ්ය සේවයේ ගැටලුකාරී තත්වයක් මතු වනු ඇතැයි ආර්ථික විශේෂඥයන් රජයට පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තු සේවකයන්ට මෙම නිවාඩු හිලව් දීමනාව දිගු කාලයක් තිස්සේ ගෙවනු ලැබුවේය.
නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් අතරේ දැඩි නොසන්සුන්තාවක් මතුව ඇත.
සමහර සේවකයන් පවසන්නේ මෙම නිවාඩු දීමනාව අවලංගු කරන්නේ නම් බලධාරීන් එය කල් තියා දැනුම් දීමට කටයුතු කළ යුතුව තිබුණු බවයි.
එසේ කල්තියා දැනුම් දී තිබුණේ නම් තමන්ට හිමි නිවාඩු ලබා ගැනීමට හැකියාව තිබූ බවද ඔවුහු පෙන්වා දෙති.