නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිම අද

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිම අද

නව රජයේ අහිනව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිතයි.

නව කැබිනෙට්ටුව ඇමැතිවරු 25 කට අඩුවෙන් හා නියෝජ්‍ය ඇමැතිවරු 27කින් සමන්විත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් සමග සමස්ත අමාත්‍ය මණ්ඩලය 50 දෙනෙකුට අඩු බවද වාර්තා වේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව, ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ යළිත් දිවුරුම් දෙනු ඇති බවයි, වාර්තා වන්නේ.

ඊට අමතරව ඇය අධ්‍යාපන අමාත්‍යාවරිය ලෙස ද දිවුරුම් බව වාර්තා වේ.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට​ කේ.ඩී. ලාල් කාන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විදේශ අමාත්‍ය ලෙස විජිත හේරත් මහතා ද සෞඛ්‍ය අමාත්‍ය ලෙස වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ද, ධීවර අමාත්‍ය ලෙස නිහාල් ගලප්පත්ති මහතා ද පත් කෙරෙනු ඇති බව රජයේ ආරංචි පවසයි.

සුනිල් හඳුන්නෙත්ති මහතා ආර්ථික කටයුතු අමාත්‍ය ලෙසත් වසන්ත සමරසිංහ මහතා කර්මාන්ත කටයුතු අමාත්‍ය ලෙසත් බිමල් රත්නායක මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙසත් පත් කිරීමට නියමිතව ඇත.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර පත් කෙරෙන බවත් අමාත්‍ය ධුර ලබා දීමේදී අදාළ විෂය දැනුම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බවත් රජයේ ප්‍රකාශකයෙක් කීය.

ඒ අනුව, අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් හෝ ලබාදීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.