අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරු 02.00 ට මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකිරීමට නියමිතය.

පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම ඉදිකරන ලද සොහොන් භූමියේදී දේහය මිහිදන් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

සිය වත්තේ වැඩ කරමින් සිටියදී විදුලිසැර වැදීමක් හේතුවෙන් පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය අඟහරුවාදා (16) ජීවිතක්ෂයට පත්වූ අතර මිය යන විට ඔහු 64 වැනි වියේ පසුවුණි.

පසුගිය 17 වනදා රාත්‍රියේ දේහය ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රිය වන විටත් විශාල ජනතාවක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටි බව අප වාර්තාකරුවන් පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඇතුලු දේශපාලන නියෝජිතයන් රැසක් ද ඊයේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබුණි.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ක්‍රියා කළේය.

Share This