‘ඔන්මැක්ස් ඩී ටී’ ලොක්කා සහ ජෝර්ජියානු ජාතිකයා අල්ලන්න රතු නිවේදන නිකුත් කෙරේ

‘ඔන්මැක්ස් ඩී ටී’ ලොක්කා සහ ජෝර්ජියානු ජාතිකයා අල්ලන්න රතු නිවේදන නිකුත් කෙරේ

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි චෝදනා මත ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩී ටී“ පුද්ගලික සමාගමේ සභාපති මධුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් ‘සෑම් බස්නායක“ සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළේය.

මෙම නීති විරෝධී මුල්‍ය ගනු-දෙනු කළ ඔන්මැක්ස් ඩී ටී පුද්ගලික සමාගමේ ප්‍රධානී මෙන්ම සභාපතිවරයා වන බස්නායක වලව්වේ ගෙදර මධුරංග ප්‍රසන්න සමරකෝන් යන අය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බවත් ඔහු මෙම සිද්ධියේ හත්වැනි සැකකරු ලෙස නම් කර ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය‍.

මෙරට ජනතාව ඔන්මැක්ස් ඩී ටී පුද්ගලික සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් බිලියන 600ක පමණ මුදලක් ජෝර්ජියාවේ කකබර් අස්ලානිස්විලි නමැත්තා විසින් එරට දී ඔහුගේ බැංකු ගිණුමකට බැරකර එම මුදල් ලබාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ඔහු මෙම නඩුවේ අටවැනි සැකකරු ලෙසට නම් කර ඔහුටද විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.‍

ඒ අනුව මෙම නඩුවේ හත්වැනි සැකකරු ලෙසට ඔන්මැක්ස් ඩී ටී පුද්ගලික සමාගමේ සභාපතිවරයා වන සෑම් බස්නායක යන අයත් අටවැනි සැකකරු ලෙස ජෝර්ජියානු ජාතික කකබර් අස්ලානිස්විලි නමැත්තාත් නම් කළ අධිකරණය ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කෙරිණී.

මෙම නඩුවේ හයවැනි සැකකරු වන මේ වන විට අධිකරණ ඇප නියෝග කඩ කරමින් විදෙස් ගතව සිටින ඔන්මැක්ස් ඩී ටී වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන මෘදුකාංග ඉංජිනේරු වී ටෙක් මෘදුකාංග ආයතනයේ හිමිකරු ගයාන් වික්‍රමතිලක යන අය ද ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් විණි.

මෙම නඩුවේ සිව්වැනි සැකකාර ඔන්මැක්ස් ඩී ටී හි අධ්‍යක්ෂවරයකු වන සාරංග රන්දික ජයතිස්ස යන අය විසින් රුපියල් බිලියන 3කට අධික අතත්‍ය මුදල් (යුඑස්ඩීටී) ප්‍රමාණයක් සෘජුවම සෑම් බස්නායක යන අයගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිවී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඔන්මැක්ස් ඩී ටි පුද්ගලික සමාගමේ සභාපතිවරයා වන මධුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් ‘සෑම් බස්නායක“ යන අයවලුන් ඉකුත් 2023 වසරේ මාර්තු මස 05 වැනිදා කොළඹ ශ්‍රැන්ග්‍රීලා හෝටලයේ විශේෂ රැස්වීමක් පවත්වා ඔන්මැක්ස් ඩී ටී හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් දේශනයක් ද පවත්වා පසුව මාර්තු මස 21 වැනිදා මෙරටින් පිටව ගොස් ඇති බවත් මෙතෙක් ඔහු නැවත මෙරටට පැමිණ නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුවන් මෙරට ජනතාවගෙන් වංචා කර ඇති මුදල් ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 3000කට අධික ප්‍රමාණයක් වන අතර ඔවුන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත මෙන්ම මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත ප්‍රකාරව ද වැරදි සිදුකර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ සැකකරුවන් දෙදෙනා මෙම නඩුවේ හත්වැනි සහ අටවැනි සැකකරුවන් ලෙසට නම් කර ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රිසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර, උප පොලිස් පරීක්ෂක එම්. ටී. ලියනගේ සහ පොලිස් කොස්තාපල් 1268 නිමේෂ් යන නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙසින් නීතිපතිවරයා නම්කරන ලද ඔන්මැක්ස් ඩී ටී පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස් දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2023 වසරේ නොවැම්බර් මස 03 වැනිදාය.

පසුව අධිකරණය මගින් එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණේ එක් අයකුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මතය.

එලෙස ඇප මත මුදා හැරුණු ඔන්මැක්ස් ඩී ටී හි අධ්‍යක්ෂවරුන් පස් දෙනා වූ කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් යන අයවලුන්ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.

බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් මෙම අයවලුන් සිදුකර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

Share This