ඕමානයේදී ශ්‍රී ලංකික තරුණයන් 03 දෙනෙකු අභිරහස් ලෙස මරුට

ඕමානයේදී ශ්‍රී ලංකික තරුණයන් 03 දෙනෙකු අභිරහස් ලෙස මරුට

ඕමානයේ මබේලා අල් හේන් නගරයේ මහල් නිවාසයක ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් තිදෙනෙකු අබිරහස් ලෙස එකම ස්ථානයක මියගොස් සිටියදී ඕමාන පොලිසියට ලද තොරතුරකට අනුව සොයාගෙන ඇති බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

පුද්ගලයන් 5 දෙනෙකුගේ කණ්ඩායමක 3 දෙනෙකු මෙසේ මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර ඉන් ඉතිරි දෙදෙනා ඕමාන සුල්තාන් කාගේස් රෝහලට ඇතුළත් කර සුවය ලැබීමෙන් පසු ඕමාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

විනෝද් වනිගසූරිය, දිලිප් ප්‍රසන්න කුමාර, ප්‍රභාත් සංජීව මුතුතන්ත්‍රී යන අය මෙසේ මියගොස් ඇති අතර මේ අතරින් එක් පුද්ගලයෙකු සංචාරක වීසා මත ඕමානයට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා ඕමාන නේවාසික කාඩ්පත් හිමි අය බව එම කාර්යාලය කීවේ ය.

හෘද කම්පනයක් (cardiac shok) සහ හඳුනා නොගත් හේතුවක් (Unknown cause) නිසා මෙම පුද්ගලයන් තිදෙනා මියගිය බව ඕමාන රෝහල් වෛද්‍ය වාර්තාව හෙළි කරන බවත් මෙම පුද්ගලයන් මබේලා අල් හේන් නගරයේ දිලිප් ප්‍රසන්න කුමාරගේ නිවෙසේ එක ම ස්ථානයක මියගොස් සිටියදී ඕමාන පොලිසියට ලද තොරතුරක් මත එම මියගිය දේහ සොයාගැනීමට හැකි වී තිබෙන බවත් එම තානාපති කාර්යාලය කීවේය.

මෙම පුද්ගලයන් ඕමානයේ පින්තාරු කටයුතු සහ ආපනශාලාවල වෘත්තිය කරමින් සිට ඇති බවත් එම පුද්ගලයන් ශ්‍රී ලංකාවේ මහියංගණ, ගිරාඳුරුකෝට්ටේ, කෑගල්ල යන ප්‍රදේශවලට අයත් බවත් එම කාර්යාලය පැවසීය.

මෙම පුද්ගලයන් මියගිය බව ඕමාන තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශය වෙත දැනුම්දී ඇති බවත් එම අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයන් තිදෙනා ඕමානයට ගෙන්වූ අනුග්‍රාහකයන් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ ලංකාවේ පවුල් සමග සම්බන්ධීකරණ කටයුතු කෙරෙන බවත් පැවසීය.

මියගිය පුද්ගලයන් අතරින් එක් පවුලක් මේ වන විට ඕමාන තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන ඇති බවත් එම කාර්යාලය කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඕමාන පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරනු ලබන බව ද ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

Share This