අගමැති ඇතුළු නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙන ලකුණු

අගමැති ඇතුළු නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙන ලකුණු

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම් දීම සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි.

ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 4 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලය රැස්කර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ද පැවසේ.

මේ අතර නව අමාත්‍යාංශ ලේකම්වරුන් ද අද දිනයේ පත් කරන බව ද ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම්වරයා පවසනවා.