නිරෝෂන්ගේ වසර 3ක ක්‍රිකට් තහනමට අද ලැබුණු නියෝගය

නිරෝෂන්ගේ වසර 3ක ක්‍රිකට් තහනමට අද ලැබුණු නියෝගය

2024 ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුනා.

පසුව ඒ පිළිබදව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය සිදුකළ පරීක්ෂණයේදී දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට තහවුරු විය.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කෙරුණු අතර පසුගිය සැප්තම්බර් මාසයේදී දික්වැල්ලට වසර 3 ක ක්‍රිකට් තහනමක් පැනවීමට ඔවුන් කටයුතු කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිරෝෂන් දික්වැල්ල අභියාචනයක් යොමුකළ අතර එය විශ්‍රාමික විනිසුරු උපාලි සමරවීර, වෛද්‍ය මෙන්ඩිස් සහ නිතිඥ ජාගොඩආරච්චි යන මහත්වරුන් විසින් විභාගයට ගනුලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි තීන්දුව අද (11) දින ප්‍රකාශයට පත් කළ අතර එහිදී දික්වැල්ලට පනවා තිබූ වසර 3 ක ක්‍රිකට් තහනම මාස 3 ක් දක්වා අඩුකර තිබෙනවා.

එම තීන්දුව හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදීමෙන් පසු ඔවුන් විසින් ඊට අදාල ඉදිරි පියවර ගැනීමට නියමිතයි.

නිරෝෂන් දික්වැල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රනිල් ප්‍රේමතිලක සහ නීතිඥ සුමින්ද පෙරේරා පෙනී සිටි අතර ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ නීතිඥ සුභානි යන මහත්ම මහත්මීන් පෙනී සිටි බවයි වාර්තා වන්නේ.