නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේ ගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා (27) දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28 දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස නාවලපිටිය පොලීසිය විසින් උපදෙස් ලබා දී ඇත.
නාවලපිටිය පස්බාගේ කොරළේ ප්රාදේශිය ලේකම්වරිය ඇතුළු ආපදා කලමණාකරණ ඒකකයේ උපදෙස් මත නාවලපිටිය පොලිසියේ නිලධාරීන් ආපදාවට ලක් වී ඇති පිරිසට උපදෙස් ලබා දී ඇත.
එම ගම්මානයට පිවිසෙන මාර්ගය පෙරේදා (27) වන දින සම්පුර්ණයෙන්ම ගිලා බැසීමට පටන් ගැනීමත් සමඟ ඒ අසල පිහිටි නිවාස හයක බිත්ති පුපුරා ගොඩනැගිලි ගිලා බැසීමට ලක්ව ඇත.
පවතින වර්ෂාවත් සමග මෙසේ තම නිවාස සහ ගම්මානයට පිවිසෙන මාර්ගය ගිලා බැසීමට පටන්ගෙන ඇති බවත්, තමන්ට තාවකාලිකව රැඳී සිටීමට පොදු ආරක්ෂිත ස්ථානයක් නොමැති නිසා ඥති නිවාස වලට යොමු වන බවයි, පීඩාවට පත් ජනතාව කියා සිටියේ.
මේ අතර, නාවලපිටිය දොළොස්බාගේ සිට ගම්පොල දක්වා වු අතුරු මාර්ගයද ගිලා බැසිමට ලක් වී ඇති නිසා රථ වාහන ධාවනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට නාවලපිටිය පොලිසිය පියවර ගෙන ඇත.
එම මාර්ගය ප්රතිසංස්කරණය කර ජනතා අයිතියට පවරා දින තිහක පමණ කාලයක් ගත වී ඇති බවයි, එම මාර්ගය භාවිතා කරන ජනතාව කියා සිටියේ.