නාමල්ගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

නාමල්ගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන මංගල ජන රැලිය අනුරාධපුරයේදී අද (21) පැවැත් වීමට නියමිතයි.

අනුරාධපුර, කඩපනහ ප්‍රදේශයේදී පස්වරු 2.00ට ආරම්භ වන මෙම ජන රැලිය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ නියෝජිතයන්, සෙසු දේශපාලන කණ්ඩායම් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළුව විශාල පිරිසක් එක්වීමට නියමිතව තිබේ.

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ළාබාලම අපේක්ෂකයා වන අතර ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් රැසක් මෙම මංගල ජන රැලියට එක්වීමට නියමිත බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මෙම රැලිය සඳහා පිට පළාත්වලින් ජනතාව රැගෙන නොඑන ලෙස තමන් පක්ෂ සංවිධායකයන්ට උපදෙස් දුන් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වෙනත් පක්ෂ සෙනඟ පෙන්වීම සඳහා පිට පළාත්වල බස්වලින් සෙනඟ ගෙනාව ද එසේ පිට පළාත්වලින් සෙනඟ ගෙන්වාගෙන ඔවුන්ගේ කාලය මුදල් විනාශ නොකළ යුතු බව ද ඒ මහතා පැවැසීය.

පොහොට්ටු පක්ෂයේ ඇතැම් පිරිස් ජනාධිපතිවරයා සමඟ එක් වුව ද ජනතාව එලෙස කටයුතු නොකරන බවත් බිම්මට්ටමේ සියලු දෙනා නැවත පොහොට්ටුව සමඟ එක්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.