මම රට අතහැර යන්න බලාගෙන දේශපාලනය කරන්නේ නෑ – නාමල් රාජපක්ෂ

මම රට අතහැර යන්න බලාගෙන දේශපාලනය කරන්නේ නෑ – නාමල් රාජපක්ෂ

මහපොලොවේ යථාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමඟ ජීවත්වන තමා දිවිහිමියෙන් රට හැර යන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමා රට අතහැර යාමට දේශපාලනය කරන අයෙකු නොවන බව පෙන්වාදෙන ඒ මහතා අපිව රටින් පැන යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ පැනලා නොගිය නිසා බවද ඒ නිසා තමා අභියෝගවලට බිය නොමැති බවද පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ තංගල්ල, වාඩිගල පොළ භූමියෙදි පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තංගල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

“මේ රටේ ජනතාව සාධාරණ ක්‍රමවේදයකට බදු ගෙවන්න සූදානම්. රාජ්‍ය ආදායම දේපල විකිණීමෙන් එහාට ගොස් බදු නොවන ආදායම වැඩිකර ගතයුතු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ගෞරවය රැකිය යුතු වෙනවා.

අද බොහෝ දේශපාලන වේදිකාවල රාජ්‍ය සේවකයන්ට පඩි වැඩිකරනවා කිය කිය ඔවුන්ගේ ගෞරවය නැති කරන්න උත්සාහ කරනවා. අපි ගෞරවය ආරක්ෂා කරනවා.

උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සේවයකයන්ගේ වැටුප් වැඩිකළ යුතු වෙනවා. ඒක දේශපාලන වේදිකාවේ කරන්න ඕන කාරණයක් නොවෙයි.

ඒක මැතිවරණයක් ළංවනවිට කරන්න ඕන දෙයක් නොවෙයි. ඒක රාජ්‍යයක් ලෙස කළයුතු කාරණයක්. පොලිස් නිලධාරියාගේ රාජකාරියට දේශපාලඥයන් මැදිහත් වියයුතු නැහැ. සාධාරණ ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වියයුතු වෙනවා.

රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න දේශපාලඥයන් මැදිහත් වියයුතු නැහැ. රටේ මුල්බැස ගත් දේශපාලන සංස්කෘතියක්, ප්‍රතිපත්තියක් සහ වගකීමක් තිබිය යුතු වෙනවා ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න.

ලෝකයේ දියුණු යයි සම්මත හැම රටකම හමුදාවට, පොලීසියට හෝ අනෙකුත් ආයතනවලට නිසි ගෞරවයක් ලබාදෙනවා. ඒ ගෞරවය සමාජයේ ගොඩනැඟී තිබෙනවා. අද මහා සංඝරත්නයට අපහාස කොට බෞද්ධ සංස්කෘතියට පහර ගහනවා.

අරගලයේ දී වෙසක් කූඩුව කළු පාටින් හැදුවා. අරගලය පටන් ගත්තේ ආර්ථික අර්බුදයක් ගැන කියලයි. අවසන් කළේ සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි කියලයි.

අනෙක් පැත්තෙන් රණවිරුවන්ට, පොලීසියට තිබූ ගෞරවය නැතිකළා. ඔවුන් උත්සාහ කළේ මේ රටේ සංස්කෘතියට ගහන්නයි. අපේ කමට ගහන්නයි. ඔවුන්ට උවමනාව තිබුනේ මේ රට ගොඩනැඟුණු පදනම වට්ටන්නයි.

නමුත් අපිට වගකීමක් තිබෙනවා. අපි ගොඩනැඟුණු පදනම ආරක්ෂා කළයුතු වෙනවා. ඒක දේශපාලනයෙන් එහාට ගිය වගකීමක්. පන්සල, පල්ලිය, කෝවිල සමාජය සමඟ බද්ධ කරන්න සංස්කෘතියට ගරුකරන දරුවන් පිරිසක් ගොඩ නඟන්න ඕන.

අවුරුදු 16 සාමාන්‍ය පෙළ විභාගය ලියලා උසස් පෙළ පමණක් තමන්ගේ එකම විකල්පය බවට පත් නොකර වෘත්තිය පුහුණුව, කාර්මික පුහුණුව සහ නිපුණතාවය ඔස්සේ ගොස් තාක්ෂණය සමඟ බද්ධවුණු ගොවියෙක්, ධීවරයෙක් ව්‍යවසායකයෙක් බවට පත්වෙන්න තරුණයන්ට නිදහස තිබිය යුතු වෙනවා.

ඒ තුළ තමන්ගේ වෘත්තියට ගෞරවයක් සමාජයෙන් ලැබෙන්න ඕන. ඒක සාමජයේ වෘත්තියට ලැබෙන ගෞරවය ආරක්ෂා කරන දේශපාලන නායකත්වය ලබාදෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්.

අපි තරුණයි. අපි දන්නවා මේ අයගේ දරුවන් සිතන විදිය. අපිටත් ළමුන් ඉන්නවා. අපි කැමැති නැහැ අපේ දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ සංස්කෘතියක් නොමැති පරිසරයක නම්. අද ළමා අපචාර දෙස බලනවිට, ගෘහස්ථ හිංසනය දෙස බලනවිට වගේම කාන්තා අපයෝජන දෙස බලනවිට තාත්තා කෙනෙක් විදියට අපිටත් දෙවරක් සිතිය යුතු වෙනවා.

එසේ නම් මේ සමාජය වෙනස් කිරීමේ වගකීම අපිට පැවරෙනවා. එය කරන්න අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදෙන්න වගකීමක් තිබෙනවා. පිහිටුවන ආණ්ඩුවට වගේම දේශපාලන පක්ෂවලට ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා.

ඒ වගේම අපේ පක්ෂය මැනවින් හදුනාගෙන තිබෙනවා. අපි මේ මහපොලොවේ පය ගසා ජීවත් වෙනවා. අපි මේ රට අතහැර යන්න දේශපාලනය කරන අය නොවෙයි.

අපි මේ රට අතහැර යනවා නම් යන්න තිබුණා. අපි පැනලා යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ අපි පැනලා නොගිය නිසයි. අපි අභියෝගවලට බිය නැහැ. අපි අභියෝගවලට ආදරය කරනවා.

ඒ නිසා අපි මේ රට අතහැර යන්නේ නැහැ. මේ රට ආර්ථික, සාමජයීය, දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමේ අභියෝගයටත් අපි ආදරය කරනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා.

හම්බන්තොට වරාය යළිත්වරක් අපි දකුණු ආසියාවේ නාවික කෙනේද්‍රස්ථානය බවට පත්කරනවා. හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගත් කාර්මික ජනපදය අපි නැවත වරක් ආරම්භ කරනවා.

සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය කේන්ද්‍ර කරගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලක්ෂයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ග දියුණු කිරීම තවදුරටත් ක්‍රියාත්මක කරනවා.