
බොරු කියන එක නවත්වන්න නාමල්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්
මන්ත්‍රී වරප්‍රසාද අවභාවිත කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වළක්වාලීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් එය නතර කිරීමට තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් කිසිවක් සිදු නොවන්නේ නම්; වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට පාර්ලිමේන්තුව තුළ හිතාමතා අපහාසාත්මක ආමන්ත්‍රණය කිරීම් පිළිබඳ තීරණ ගැනීමට බලය පැවරිය යුතු බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඊයේ (03) කොළඹ දී රැස්වූ අවස්ථාවේ දී ඔහු මේ බව පැවසුවා.
අසත්‍ය ප්‍රකාශ සිදුකරනවාට අකමැති සියලුදෙනා එම යෝජනාව සඳහා ඡන්දය භාවිතා කරනු ඇති බවත් ඔහු එහිදී සඳහන් කළා.
“පාර්ලිමේන්තුව ඇතුළේ අසීමිත විදියට බොරු කියනවා. මොකද ඒ වරප්‍රසාදයක් දීලා තියෙන නිසා. ඒක දීලා තියෙන්නේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් කියන්න මිසක් බොරු කියන්න නෙමෙයි. එය වෙනස් විය යුතුයි.
ඒක අවභාවිත කරනවා නම්, ඒ සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරි ගෙනල්ලා ඒක වෙනස් කරන්න කටයුතු කරනවා. අපි බලමු පාර්ලිමේන්තුවේ බොරු කියනවා ට 225න් කී දෙනෙක් විරුද්ධ ද කියලා.
අපි ඇත්ත කතා කරනවා නම් අපිට ඒ අයිතිය ඕනේ නෑනේ. මට ඕනේ නෑ. මම පාර්ලිමේන්තුවේදීවත් එළියේවත් මම නොකරපු දෙයක් කියන්නෙත් නෑ, කරන්න බැරි දෙයක් කියන්නෙත් නෑ සහ තව කෙනෙක්ගේ චරිතය මම ඝාතනය කරන්නෙත් නෑ. ජනතාව මුලා කරන අය මේකට විරුද්ධ වෙයි.”