නාගලගම් වීදිය වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

නාගලගම් වීදිය වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

ග්‍රෑන්ඩ්පාස් – නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබේ.

එමෙන්ම, මෙම වෙඩි තැබීම තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සේදවත්තේ කසුන්ගේ පාර්ශවය විසින් සිදු කරන්නට ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, අවුරුදු 22 සහ 28 යන වයස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.