බිරිඳ ඝාතන කිරීමේ චෝදනාවට ශ්‍රී ලාංකිකයෙකු ඔස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි

බිරිඳ ඝාතන කිරීමේ චෝදනාවට ශ්‍රී ලාංකිකයෙකු ඔස්ට්‍රේලියාවේදී වරදකරු වෙයි

තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබේ.

ඔහුගේ බිරිඳ වූ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් නඩු විභාගය පැවති අතර ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආත්මාරක්ෂාව සඳහා තම බිරිඳට පහර දුන් බවටය.

මෙම සිද්ධියට අදාළව 47 හැවිරිදි දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු කිරීමට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පැය තුනක පමණ කාලයක් සාකච්ඡා කර තිබූ බව සඳහන්වේ.

දිනුෂ් කුරේරා 2022 වසරේ දෙසැම්බර් 3 වනදා තම බිරිඳ ඝාතනය කළ බව පිළිගත් අතර ආත්මාරක්ෂාව සඳහා ක්‍රියාමාර්ගයක් ගත් බව පවසමින් මිනීමැරුම් චෝදනාවට වරද පිළිගෙන තිබුණේ නැත.

ඔහු නඩු විභාගය අතරතුර ජූරි සභාවට පැවසුවේ මෙල්බන් නිවසේ ආරවුලක් අතරතුර බිරිඳ පිහියක් පෙන්වා තමාට තර්ජනය කර ඇඟිල්ල සපා කෑ බවයි.

43 හැවිරිදි මෙම ශ්‍රී ලංකික කාන්තාව තුවාල 35 ක් සහිතව මියගොස් සිටි බව නීතිඥයින් ජූරි සභාවට දැනුම්දී තිබුණි.

එමෙන්ම මෙම ගැටුම අතරතුර 17 හැවිරිදි තම පුත්‍රයාට නිවසින් පලා යාමට උත්සාහ කිරීමේදී පහර දීම ද සැකකරු ප්‍රතික්ෂේප කර තිබේ.

කුරේරා බිම වැතිර සිටි සිය මවට පොරවකින් පහර දෙන අයුරු දැක ඇති බව දියණිය සාක්ෂි ලබා දෙමින් පවසා තිබේ

මෙම යුවළගේ දරුවන් දෙදෙනාගෙන් ද සති හතරක පමණ කාලයක් සාක්ෂි විමසීමෙන් අනතුරුව අද වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්වේ.

දිනුෂ් කුරේරා නැවත රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර ඉදිරි දිනකදී දඩුවම් නියම කරනු ඇත.