කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි යහනේම මරා දමලා

කෙම්පිටිය වලව්වේ හිමිකරු නිදි යහනේම මරා දමලා

කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු, ක්‍රිෂාන්ත පුලතිස් මාරපන අත් පා ගැට ගසා ගෙල සිරකර නිදි යහනේදීම ඝාතනය කර තිබියදී පොලිසිය විසින් ඊයේ (28) පෙරවරුවේ සොයාගෙන තිබේ.

කෑගල්ල හෙට්ටිමුල්ලේ පිහිටි බුළුරුප්ප වලව්වේ හිමිකාරිත්ව දැරූ ක්‍රිෂාන්ත පුලතිස් මාරපන වලව්වේ 11 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස මෙම දේපල භුක්ති විඳමින් සිට ඇත.

ඝාතනය වන විට 75 හැවිරිදි වියේ පසුවූ ඔහු කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය, කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය, යන පාසල්වල ගණිත ගුරුවරයෙක් ලෙස සේවය කළ විශ්‍රාමික ගුරුවරයෙකි.

එමෙන්ම ගරු සේවයක් ලෙස වැටුපක් නොලබා කෑගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් ලෙස පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහජන සේවය කළ ජනතා නියෝජිතයෙකි.

ක්‍රිෂාන්ත පුලතිස් මාරපන දෙදරු පියෙක් වන අතර ඔහුගේ දියණිය මින් පෙර අකාලයේ මිය ගොස් ඇති අතර එකම පුතා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව පොලිසිය පවසයි.

නිවසේ ජීවත් සිට ඇත්තේ ඔහු සහ ඔහුගේ බිරිය පමණි. බිරිඳගේ මුවෙහි ප්ලාස්ටර් අලවා නිවසේ අල්මාරි සියල්ල විවෘත කර තිබූ බවත් සැකකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලද ඇය පොලිසිය විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පහරදිමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සිධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.