පිරිසක් සමග ගැටුමක් ඇති කරගත් අයෙකුගේ මළ සිරුරක් කලාඔයෙන් හමුවෙයි

පිරිසක් සමග ගැටුමක් ඇති කරගත් අයෙකුගේ මළ සිරුරක් කලාඔයෙන් හමුවෙයි

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබදව ගලා බසිනා කලාඔයේ ඊයේ (29) දින පාවෙමින් තිබී හමුවූ මළ සිරුර සැකසහිත යැයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය සදහන් කරයි.

ඉකුත් (28) වන දින සවස් කාලයේදී මරණයට පත්වූ තැනැත්තා ඇතුළු සිව් දෙනකු දිය නෑම සදහා කලාඔයට පැමිණ ඇති අතර, ඔවුන්ද අධික ලෙස මත්පැන් පානය කර සිටි බව කියයි.

එහිදී දිය නෑමට පැමිණ සිටි තවත් පිරිසක් අතර, ඇතිවූ බහින් බස් වීමක් දිග දුර යාමෙන් සිදුවූ ගැටුමක් සමග මරණකරු හැර අනෙක් පිරිස එම ස්ථානයෙන් පලා ගොස් පැය දෙකකට පමණ පසු පලා ගොස් සිටි පිරිස නැවත මරණකරු සොයා කලාඔයට පැමිණියද ඔහුව සොයා ගැනීමට නොහැකිව ඇති අතර, රාත්‍රියේදී වනාතවිල්ලුව පොලිසියට අතුරු දහන්වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද සටහන් කර තිබූ බවයි පරික්ෂණ පවත්වන වනාතවිල්ලුව පොලිසිය සදහන් කරන්නේ.

අනතුරුව (29) වන දින වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නිළධාරින් කිහිප දෙනකු සහ මරණකරුගේ හිතවතුන් පැමිණ කලාඔය දෙපස පරික්ෂාවට ලක් කිරීමේදී මියගිය පුද්ගලයාගේ සිරුර කලාඔයේ පාවෙමින් තිබියදී සොයා ගැනීමට හැකිව තිබූ අතර, මරණයට පත් තැනැත්තාගේ උර බාහුවෙන් පහළ කොටස කලාඔයේ සිටින කිඹුලකු විසින් අස්ථියෙන්ම ගලවා ගෙන ගොස් ඇති ආකාරයක්ද දක්නට ලැබීමට තිබූ බව පැවසේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අංක 19, වන්දනාගම, කලංකුට්ටිය, ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකාර එච්.එම්. වසන්ත ප්‍රියදර්ශණ නැමති (47) හැවිරිදි අවිවාහක පුද්ගලයකු බව කියයි.

අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර එළුවන්කුලම ප්‍රදේශයේ සංචාරක බංගලාවක් අළුත් වැඩියා කටයුතු කිරීමට පැමිණි සිටි අයකු බවත්, මොහු අධික ලෙස මත්පැන් පානයට හුරුව සිට ඇති බවද පැවසේ.

මරණකරු ඉකුත් (28) වන දින සවස සිය මිතුරන්ද කැටුව කලාඔයට දියනෑම සදහා පැමිණි ඇති අතර, එහිදී තවත් පිරිසක් දිය නාමින් සිටියදී දෙපිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් දිග දුර යාමෙන් සිදුවූ පහර දීමකින් පසුව මරණකරු කලාඔය දිගේ දිවවිත් එකවරම අතුරුදහන්ව ගොස් ඇති බවයි සිය මිතුරන් පොලිසිය හමුවේ සිදුකල ප්‍රශ්ණ කිරීම් වලදී පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් අධිකරණය හමුවට කරුණ වාර්තා කිරීමෙන් අනතුරුව පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් වරයා සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණ මෘත දේහය පරික්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කිරීමට පොලිසියට නියෝග කර තිබුණි.

මේ වනවිට පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දේහය තැන්පත් කර ඇති අතර, (30) වන දින විශේෂඥ අධිකරණ වෛද්‍ය වරයා විසින් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණි.

වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමුදු සේනානායක මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන (35387) රස්නායක, (60955) විජයරත්න, පොලිස් කොස්තාපල් (105355) ලක්ෂාන්, පොලිස් කොස්තාපල් රියදුරු (98973) චින්තක යන නිළධාරින් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන