මවට ලිපියක් ලියා උසස් පෙළ සිසුවිය නිදි ඇඳේම මියගිහින්

මවට ලිපියක් ලියා උසස් පෙළ සිසුවිය නිදි ඇඳේම මියගිහින්

මොනරාගල පොලිස් වසමට අයත් වැදිකුඹුර, අම්පිටිය පදිංචි උසස් පෙළ හදාරන පාසල් සිසුවියක් පසුගිය 24 වන දා මවට ලිපියක් ලියා නිදි ඇඳේම මියගොස් ඇතැයි, මොනරාගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, මොනරාගල වැදිකුඹුර විද්‍යාලෝක විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි වීරසිංහ කංකානම්ලාගේ මෝක්ෂා සෙව්වන්දි (18) නමැති සිසුවියකි.

ඇයගේ පියා මීට වසර හතරකට පමණ ඉහත දී වන අලියකු පහරදීමෙන් මියගොස් ඇත.

මව, මල්ලී සහ ඇය නිවසේ පදිංචිව සිටින අතර ඉකුත් 24 දා උදෑසන මව උක්ගස් කැපීම සඳහා නිවසෙන් පිටව ගොස් ඇත. මල්ලී ද උපකාරක පන්තියකට ගොස් තිබේ.

පස්වරු තුනට පමණ මල්ලී පැමිණ බලන විටදී ඇය නිදි ඇඳේ මියගොස් සිටිනු දැක ඇත.

ඇය විසින් ලියන ලද ලිපියේ “අම්මා අපි නිසා දුක්විඳිනවා. ඒ ගැන මට කනගාටුයි” කියා සඳහන් කර ඇත.

ආර්ථික දුෂ්කරතා නිසා ඉගෙන ගැනීමට පවා ඇයට ගැටලු තිබී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඇයගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ ඉකුත් 25 දා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පවත්වන ලද අතර ඇයගේ මරණය සම්බන්ධයෙන් හේතුව අනාවරණය නොවන බව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.එන්. ආර් යාපා මහතාගේ වාර්තාවේ සඳහන් වේ.

ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමුකර ඇත.