පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වෙන දීමනා මොනවද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වෙන දීමනා මොනවද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බවත් වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට රුපියක් 54,000කට ආසන්න දීමනාවක් හිමිවන බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

මීට අමතරව පැමිණීමේ දීමනාවක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන් වෙනුවෙන් රු 2,500ක මුදලක් සහ රැස්වීම් නොපවැත්වෙන දිනයන්වල දී කාරක සභාවලට සහභාගී වීම වෙනුවෙන් රු 2,500ක දීමනාවක්ද සියළුම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වෙනවා.

එමෙන්ම, දුර ප්‍රමාණය මත ඉන්ධන දීමනාවක් හිමිවන බවත්, එය සූත්‍රයක් අනුව ගණනය කරන බවද කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළා.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40ක් ඇතුළත නිවසක් නොමැති අයට, අයදුම් කර මාදිවෙල ඇති මන්ත්‍රී නිවාස ලබාගැනීමට හැකියාව ඇති බව ද ඇය පවසා සිටියා.

මාදිවෙල එවැනි නිවාස 108ක් මේ වනවිට ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඉල්ලීම පරිදි පළමුවෙන් ඉල්ලීම් ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව නිවාස ලබාදෙන බවත් කුෂානි රෝහණධීර මහත්මිය මෙහිදී සඳහන් කළා.

එමෙන්ම නිවාස කුලිය ලෙස රු 2,000ක මුදලක් ගෙවන බවත්, විදුලිබිල හා ජල බිල අදාළ මන්ත්‍රීවරයා විසින් ගෙවිය යුතු බව ද පාර්ලිමේන්තු මහලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වෛද්‍ය පහසුකම් ලබාගෙන එම මුදල දීමනාවලින් අඩු කිරීමටත් පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශය එක්ව පහසුකම් සලසා ඇති බවත් කුෂානි රෝහණධීර මහත්මිය තවදුරටත් සඳහන් කළා.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍ය දීමනා ද අදාළ අමාත්‍යාංශය විසින් දරනු ලබන බවද ඇය පෙන්වා දුන්නා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන දීමනා හා වරප්‍රසාද සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන්ව තිබෙනවා.

රැස්වීම් දීමනාව, කාරක සභා දීමනාව, කාර්යාල දීමනාව, මන්ත්‍රී දීමනාව, රියදුරු දීමනාව, ඉන්ධන දීමනාව, පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව, නිදහස් තැපැල් පහසුකම් ආදි දීමනා මීට ඇතුළත්.

දුරකථන දීමනාව වශයෙන් මන්ත්‍රීවරුන්ට ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන සඳහා මාසිකව රු. 50,000/= ක්ද පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රවාහන දීමනාව ලෙස සාමාජිකයන් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් ‍‍අයෙක් සඳහා රු. 2500 බැගින් රු. 10,000ක දීමනාවක්ද ඔවුන්ට හිමි වෙනවා.

එමෙන්ම,තැපැල් පහසුකම් වශයෙන් සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රු. 350,000/= ක් වටිනා මුද්දර ලබා දීම සිදු වෙනවා.

ඉන්දන දීමනාව වශයෙන් එක් එක් මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය තේරී පත්වුණ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළඳපොල මිළ ගණන් අනුව ගෙවනු ලබන අතර නිදසුනක් ලෙස කොළඹ ප්‍රදේශයට අයත් මන්ත්‍රීවරයෙකුට මාසිකව ඉන්ධන ලී‍ටර් 283.94ක් සඳහා අවශ්‍ය ගෙවීම් සිදු කෙරෙනවා.

එය දළ වශයෙන් රුපියල්, 90,000ක පමණ ගණනක්.

තවද, රැස්වීම් දීමනාව වශයෙන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රු. 2500/=.ද, කාරක සභා දීමනාව වශයෙන් පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල රැස්වෙන කාරක සභා සඳහා සහභාගී වීම වෙනුවෙන් දිනකට රු. 2500/= බැගින්ද,

කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රු. 100,000/= ක් බැගින්ද මන්ත්‍රීවරුන්ට හිමි වෙනවා.

ඒ අනුව, මෙම සියලු දීමනාවල එකතුව සැලකූ විට රුපියල් 328,785 ක පමණ ගෙවීම් ප්‍රමාණයක් මන්ත්‍රීවරුන්ට හිමි වෙනවා.