වසර 27කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

වසර 27කට පසු ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ඉන්දියාවට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරඟයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 110ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වූ අතර ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 26යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 138ක් පමණයි.

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමව අවසන් වුවත්, ඉතිරි තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසය.

මීට පෙර ඔවුන් එක්දින තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම පරාජය කර තිබුණේ 1997 වසරේදී වූ අතර, එවර ඔවුන් තරග 3-0කින් ඉන්දියාව පරාජය කර තිබුණි.

අද තරගයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 27කට කඩුලු 05ක් දවාගැනීමට සමත් විය.