ධීවරයින් 7 දෙනෙකුට මරණ දඩුවම

ධීවරයින් 7 දෙනෙකුට මරණ දඩුවම

2012 වසරේ ඔක්තෝබර් මාසයේදී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්’ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ ධීවරයින් 7 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (24) මරණ දඬුවම නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇත.

එම නඩුවේ දහවන විත්තිකාරිය ලෙස නම් කර තිබූ විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිරදඬුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් මිලියන 2යි රු 8500 බැගින් වූ දඩයක් ගෙවීමට ද නියම කළේය.

මරණ දණ්ඩනයට අමතරව නියම කරනු ලැබූ සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසට ද විනිසුරුවරයා එහිදී නියම කළේය.

නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

ඉන් විත්තිකරුවන් තිදෙනෙක් නඩු විභාගය අතරතුර හෝ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවනු ලැබුවේ විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිවයි.