විදෙස් රැකියා සඳහා මුදල් ගත්තැයි කරන චෝදනා වලට පරීක්ෂණයක් ඉල්ලා මනූෂගෙන් විජිතට ලිපියක්

විදෙස් රැකියා සඳහා මුදල් ගත්තැයි කරන චෝදනා වලට පරීක්ෂණයක් ඉල්ලා මනූෂගෙන් විජිතට ලිපියක්

E8 ඛාණ්ඩයේ වීසා යටතේ ඍතුමය රැකියා අවස්ථා රටට ලබා ගැනීම සඳහා හිටපු කම්කරු ඇමතිවරයා ලෙස තමන් කටයුතු කළේ ශ්‍රී ලංකාවේ සහ කොරියානු ජනරජයේ ක්‍රියාත්මක නීති තත්ත්වයන් ගලපා ගනිමින් නීත්‍යානුකූලව සහ විනිවිද භාවයකින් යුතුව බව හිටපු කම්කරු ඇමති මනුෂ නානායක්කාර වත්මන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඩොලර් මිලියන 200 ක තිබූ මාසික විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 500 දක්වා වැඩි කිරීමට දියත් කළ ක්‍රියාවලියේ දී ද්වී පාර්ශවික ගිවිසුම් හරහා කොරියානු රැකිය‍ා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම වර්ධනය කරගැනීමට කොරියාවේ ඍතුමය රැකියා අවස්ථා විවෘත කරගැනීමට පියවර ගත් බවද ඔහු එම ලිපියේ දක්වා ඇත.

දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍ය හරහා තමන්ගේ පුද්ගලික ජීවිතයට මෙන්ම දේශපාලන ජීවිතය ද විනාශ කරමින් ප්‍රචාරය වන විදේශ රැකියා සඳහා මුදල් ලබා ගැනීම පිළිබඳ චෝදනාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි, මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා විදේශ රැකියා ඇමති විජිත හේරත් වෙත දැනුම් දී ඇත්තේ.

ඔහු පවසන්නේ මේ ක්‍රියාවලියේ දී යම් පුද්ගලයෙක් විදේශ රැකියා සඳහා පිටත් වීමට මුදල් ලබාගෙන ඇති නම් එය බරපතල වරදක් බවත් ඔවුන් සම්බන්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත්ය.