පළාත් පාලන ආයතන වල බලයත් ‘මාලිමාවට’ දෙන්න

පළාත් පාලන ආයතන වල බලයත් ‘මාලිමාවට’ දෙන්න

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත්, ඒ හේතුවෙන් පළාත් පාලන ආයතන වල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැඳගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) පැවසීය.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ටිල්වින් සිල්වා මහතා එසේ පැවසීය.

පළාත් පාලන ආයතන වල බලය වෙනත් පිරිසකට ගියහොත් ආණ්ඩුවේ වැඩ කලාකප්පල් කිරීමට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබෙන බවත් ආණ්ඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, ජනතා සේවයට මුදල් වෙන්කිරීම ආදි ආරම්භ කළ රටට වැඩදායි දේවල් සාර්ථකව ඉදිරියට ගෙන යෑමට පළාත් පාලන ආයතන වල බලය ඉතාම වැඳගත් බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

මාලිමාව ජනාධිපතිවරණය ජයගෙන, මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා ප්‍රබල තත්වයක පසුවීම නිසා පුංචි ඡන්දය ද ජයග්‍රහණය කරන්නේ යැයි හොඳ විහ්වාසයක් ඇති බව කී ටිල්වින් සිල්වා මහතා විපක්‍ෂය මීට මාස පහකට පෙර පරාජයට පත්ව දුර්වලවී නාමයෝජනා හෝ සකස් කරගැනීමට නොහැකි තත්වයක පසුවූ බව ද සඳහන් කළේය.

ඇතැම් පක්‍ෂ දෙකයිපනහටම වැටී දේශපාලන වශයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ඒවා බවත් ඒ හේතුවෙන් මාලිමාව මෙම මැතිවරණයේදී සියලුම පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරන්නේ යැයි කිසිඳු සැකයක් නොමැති බවත් ඔහු පැවසීය.

මෙම පළාත් පාලන මැතිවරණය රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්‍ෂලා ප්‍රජාතන්ත්‍රවිරෝධීව නොපවත්වා කල්දැමූ ඡන්දයක් බවත් මෙම ඡන්දය නොපැවැත්වීමට කටයුතු කළ කණ්ඩයමක් නිසා ඔවුන්ට සදාචාරාත්මකව ඡන්දයට ඉදිරිපත්වීමට හෝ අයිතියක් නොමැති බවත් ඒ මහතා කීය.

මෙම මාධ්‍ය හමුවට ජාතික ජනබලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.