මම ආයේ ශ්‍රීලනිප සභාපති ධූරයට ඉදිරිපත් වන්නේ නෑ – මෛත්‍රී
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් අද (16) අභියාචනාධිකරණය හමුවේ සමථයකට පත්ව තිබෙනවා.
මෙම පෙත්සම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ගොනුකර තිබුණා.
පෙත්සම අද (16) දිනයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ බී. ශෂී මහේන්ද්‍රන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.
පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පවසා සිටියේ, තම සේවාදායකයා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බවටත් වත්මන් සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා සම්බන්ධයෙන් ඔහු විරුද්ධත්වයක් නොදක්වන බවත්ය.
එබැවින් මෙම පෙත්සම සමථයකට පත් කිරීමට හැකියාව තිබෙන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදාකයා ද ඊට එකඟ වන බවයි.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම සමථයකට පත් කරමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්නා.
පෙත්සම්කාර මොන්ටේගු සරත්චන්ද්‍ර සිය පෙත්සම තුළින් අවධාරණය කර තිබුණේ, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී ඔහු එම ධුරයේ කටයුතු කිරීම හරහා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවයි