මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් කතානායකට ලිපියක්

මන්ත්‍රීවරුන් 21 දෙනකුගෙන් කතානායකට ලිපියක්

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්හි ඒ අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 21 දෙනෙක් සිය අත්සනින් යුතු ලිපියක් බාර දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අද (09) ඉල්ලීමක් කළේය.

නිව් ඩයමනඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙසද ඔවුහු එම ලිපියෙන් ඉල්ලා සිටිති.

මෙම ලිපියට අත්සන් කර ඇති මන්ත්‍රීවරුන් වන්නේ ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න,යදාමිණි ගුණවර්ධණ,ඩබ්ලිව්.ඩී වීරසිංහ, රංජිත් බණ්ඩාර,මධුර විතානගේ,රාජිකා වික්‍රමසිංහ,ගුණතිලක රාජපක්ෂ,කුමාරසිරි රත්නායක,ජගත් කුමාර,මහින්දානන්ද අලුත්ගමගේ,සම්පත් අතුකෝරාළ,නාලක කෝට්ටේගොඩ, සුදර්ෂණ දෙනිපිටිය,කේ.ඒ.යූ.කේ ගුණතිලක,නිමල් ලාංසා,එච්.එම්.එම් හාරීස්,සරත් වීරසේකර,මුදිත ද සොයිසා,එස්.බී දිසානායක සහ ප්‍රදීප් උඳුගොඩය.

නෞකා අනතුරු සිදුවීම හා අනතුරුවලින් පසුව සිදුවූ මැදිහත්වීම් සහ අඩුපාඩු පිළිබඳව නැවත සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සභාව තුළදී මෙන්ම පිටතදීද මෙම අනතුරු සහ නෞකා රක්ෂණ සමාගම් අතර සිදුවූ ගනුදෙනු පිළිබදව තොරතුරු හෙළිදරව් කර ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

නෞකා අනතුරු සම්බන්ධ සිදුවීම්වල සත්‍යය හෙළිදරව් විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදුන් ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ නෞකා අනතුරු සම්බන්ධයෙන් එල්ල වී ඇති මූල්‍ය චෝදනා යටපත් කිරීමේ අරමුණින් විපක්ෂය ඒ ගැන විවාදයක් ඉල්ලා සිටින බවයි.

Share This