ඒ.එස්.පී. සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක්

ඒ.එස්.පී. සංජීව මහානාම ගැන පුළුල් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවකුව සිටින සංජීව මහානාම නමැති හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සහාය දක්වමින් අයථා අන්දමින්, මහා පරිමාණයෙන් දේපළ හා මුදල් උපයීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය.

මහානාම මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අයතා අන්දමින් මුදල් ඉපැයීමට සම්බන්ධ වූ බවත්, එම ඉපැයීම් වලින් ලබාගත් දේපල වෙනත් පුද්ගලයින්ගේ නමින් රැස්කර ඇති බවත් සදහන් කරමින් මත්ද්‍රව්‍ය ජවාරම්කාරයින් දෙදෙනෙකු අනුරාධපුරය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කරුණු දක්වමින් පැවසීය.

මහානාම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකර්ණය වැලැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කළ බවත්, මහානාම සැකකරුගේ සහායෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කලේ යැයි කියන අනුරාධපුරයේ හෙරොයින් සහ අයිස් ජාවාරමට ප්‍රසිද්ධ ධර්ම ශ්‍රී පුෂ්ප කුමාර, ලංකා උමා පතිරණ නොහොත් කුඩු මැණිකේ නැමැති පුද්ගලයින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත්, සඳහන් කළ රහස් පොලිසිය පැමිණිලිකාර සැකකරුවන්ගේ හා මහානාම සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් රහස් පොලිසිය, අල්ලස් කොමිසම, වංචාව විමර්ශන ඒකකය, සුරා බදු ඒකකය, රේගුව, මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යාංශයේ අපරාධ කොට්ඨාසය ඇතුළු රජයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකොළහකින් වාර්තා කැඳවා ඇති බවද කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසා ඇති බවත්, එමගින් උපයන මුදල් දිනපතා “ඊසි කෑෂ්” ක්‍රමයට ලබාගෙන වෙනත් පුද්ගලයන්ගේ නමින් රැස් කර ඇති බවත් පැමිණිලිකාර ජාවාරම්කරුවන් සඳහන් කර ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.