
බන්ධනාගාර ගත කළ නීතීඥවරිය නිදහස් කරන්නයි නියෝග
අධිකරණයට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කර තිබේ.
අදාළ නීතීඥවරියට මෙම චෝදනා එල්ල කරමින් නඩුවක් ගොනුකර ඇත්තේ පුත්තලම මහාධිකරණයේ ලේකඛාධිකාරීවරිය විසිනි.
ඒ අනුව ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් එම නීතීඥවරියව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබූ බව පැවසෙන්නේ.
පුත්තලම මහාධිකරණ ආරංචිමාර්ග සඳහන් කළේ අදාළ නීතීඥවරියට අධිකරණයට අපහාස වන පරිදි හැසිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ ඇය නාභිය පෙනෙන ආකාරයෙන් සාරිය ඇඳීම නිසා බවයි. නාභිය පෙනෙන ලෙස සාරිය නොඅඳින්නැයි මීට පෙර විනිසුරුවරිය අදාළ නීතීඥවරිය කැඳවා අවවාද කර තිබුණු බවත් එම ආරංචිමාර්ග පැවසීය.
කෙසේ වෙතත් ඇයට ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ ඇය අධිකරණ ශාලාවට ඇතුළුවීමේදී හිස නමා ආචාර නොකිරීම සහ මීට අදාළ නඩුවේ ඇප අයැදීමේදී මහාධිකරණ විනිසුරුවරියට ගෞරවාන්විතව ඇමතීම චේතනාන්විතව පැහැර හැරීම යන වැරදි තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර ඇති බවයි.
