විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට
ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන අදහස් විමසීම අද (30) ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ලබන වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම පසුගිය දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කෙරුණා.
ඒ අනුව විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලිබල කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පහසුකම් සැළසීම සඳහා සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශනය ක්‍රියාත්මක වනු ඇති.
පළාත් මට්ටමින් පැවත්වෙන මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම් අද දිනයේ දී ඌව පළාතට අදාළව සිදුකිරීමට නියමිත අතර එය මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා.
මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව ලබන වසර සඳහා බලාත්මක වන විදුලිගාස්තු පිළිබඳ අවසන් තීරණය ජනවාරි මස 17 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.