විදුලි ගාස්තු අඩු නොකිරීම ගැන පාර්ශව රැසකින් චෝදනා

විදුලි ගාස්තු අඩු නොකිරීම ගැන පාර්ශව රැසකින් චෝදනා

විදුලි ගාස්තු අඩු කිරීමකින් තොරව ඉදිරි මාස හයක කාලය සඳහා දැනට පවතින ගාස්තු එලෙසම පවත්වාගෙන යා යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට කරනු ලැබූ දැනුම් දීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් චෝදනා එල්ල වී තිබෙනවා..

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා පසුගිය මස 22 වනදාට පෙර ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසන් වරට ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණා.

අවස්ථා කිහිපයක් කල් ලබා ගැනීමෙන් පසුව විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබුණේ ඒ සදහා තවත් සති 2ක කාලයක් ලබාදෙන ලෙසයි.

එහෙත් මහජන උපයෝගීතා කොමිසම සදහන් කළේ, ගාස්තු සංශෝධන යෝජනා මේ මස 06 වනදා වනදා ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ අනුවයි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ විදුලි ගාස්තු අඩු කිරීමකින් තොරව ඉදිරි මාස හයක කාලය සඳහා දැනට පවතින ගාස්තු එලෙසම පවත්වාගෙන යා යුතු බවට මහජන උපයෝගිතා කොමිසමට ඊයේ ලිඛිතව යෝජනා කර තිබේ.

ඔක්තෝබර් මස අග ඉදිරිපත් කළ සංශෝධනය මගින් විදුලි ගාස්තුව සියයට 6කින් පහළ දැමීමට හැකි බව පැවසූ ලංකා විදුලිබල මණ්ඩලය මාස එකහමාරකට පසු විදුලි ගාස්තුව අඩු කළ නොහැකි බව සඳහන් කිරීම ගැටලු‍ සහගත බවයි විවිිධ පාර්ශව පෙන්වා දෙන්නේ.

විදුලිබිල සංශෝධනය නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කරන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක විදුලිබිල තුනෙන් එකකින් අඩු කළ හැකි බව ජනාධිපතිවරණ වේදිකාවේදී ඉතා පැහැදිළිව ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.

එසේම මෙම තීරණය ගෙන ඇත්තේ 2024 වසරේ සැප්තැම්බර් වන විට විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය බිලියන 136ක් ඉක්මවා ඇති පසුබිමක වීමත් විශේෂත්වයක්.

එමෙන්ම පසුගිය සති ගණනාවක් පුරා ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ උතුරා යමින් දෛනික ජල විදුලි උත්පාදනය මෙගාවොට් පැය 5500 ඉක්මවූ අතර ඉන්ධන මගින් විදුලිය නිෂ්පාදනය සියයට 1.3ක් දක්වා අඩු වී තිබෙනවා.

ඒ අනුව විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 200කට අධික ලාභයක් උපයා ඇති බැවින් කඩිනමින් විදුලි ගාස්තු අඩු කරන ලෙස ඉල්ලා සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය ඊයේ ජනාධිපති කාර්යාලයට සංදේශයක් ද භාරදුන්නා.