නීතිපතිට දෝෂාභියෝගයක් ගේන්නැයි ලසන්තගේ දුවගෙන් අගමැතිනියට ලිපියක්

නීතිපතිට දෝෂාභියෝගයක් ගේන්නැයි ලසන්තගේ දුවගෙන් අගමැතිනියට ලිපියක්

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන ලෙස අහිංසා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට ලිපියක් යෙමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

ඇය සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශනයේ සැකකරුවන් ලෙස නම් කර තිබූ තුන්දෙනෙකු නිදහස් කිරීමට නීතිපති පාරින්ද රණසිංහ මහතා පසුගිය සතියේ ගත් ක්‍රියාමාර්ගය ගැන සිය කණස්සල්ල පළ කරන බවයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කළ හැකියැයි පවසමින් නීතිපතිවරයා විසින් ජනවාරි 27 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයටත් යවා තිබූ ලිපිය උපුටමින් අහිංසා වික්‍රමතුංග, එය හිතාමතාම යුක්තිය හෑල්ලුවට ලක් කරන පියවරක් බවට චෝදනා කරයි.

ඇය අවධාරණය කරන්නේ, 2015 සිට මෙම නඩුව බැරෑරුම් ලෙස හෝ විශ්වාසදායක ලෙස විමර්ශනය කර නොමැති බවයි

යුක්තිය පසිඳලීමේ ආණ්ඩුවේ ප්‍රතිඥාව ඉටු කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධූරයෙන් නෙරපා හැරීම බව ඇය පෙන්වා දී ඇත.

එමෙන්ම මෙය “අහිංසක වැරැද්දක්” නොව නීතිපති දෙපාර්තමේන්තුව තුළ ඇති “අවිනිශ්චිතභාවයේ සහ උදාසීනත්වයේ” සංස්කෘතියක පිළිබිඹුවක් බව එම ලිපිය මගින් ඇය සඳහන් කර සිටියි.