කෝටියක “කුෂ්” සමග රුසියානු ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටියක් පමණ වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි විදේශිකයෙකු, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී ඊයේ (23) පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි රුසියානු ජාතික තොරතුරු තාක්ෂණ නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකි.
මොහු මීට අමතරව මෙම කුෂ් මත්ද්‍රව්‍ය වගා කර, සකස් කර, ලොව පුරා රටවල් අතර බෙදාහැරීමේ ජාවාරමක ද නිරත පුද්ගලයෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.
මොහු ඊයේ පස්වරු 12.50 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ ස්පොන්ජ් යොදා සකස් කළ, නිදා ගැනීමට භාවිතා කරන කොට්ටයක් තුළ, මෙසේ අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 50 ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගය සූක්ෂම ලෙස සගවා ගෙන සිටියදී, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම රුසියානු ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මේ මස 29 වන දින තෙක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.