කරාපිටිය රෝහලේ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට ඇප

කරාපිටිය රෝහලේ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට ඇප

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවිකාවකට පහරදුන් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ඇප මත නිදහස් කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

අද නඩුව කැඳවූ අවස්ථාවේ දී විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ ප්‍රසිත වල්ගම ඇතුළු කණ්ඩායමක් පෙනී සිටියහ.

පිළිකා වෛද්‍ය ඒකකයේ සේවක පිරිස් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා එක් නොවන බවට එකඟතාවයක සිටිය දී වෛද්‍යවරුන් උදෙසා ලබා දෙන DAT දීමනාව ලබා ගැනීම සඳහා වැඩ වර්ජනය කළ රෝහලේ සුළු සේවකයින් සමග ඇති වූ ගැටලුවක් මුල් කරගෙන ඇති වූ සිද්ධියක දී තමන්ට පහර දුන් බව කියමින් රෝහලේ සුලු සේවිකාවක් සිදුකළ පැමිණිල්ලක් මත විශේෂඥ වෛද්‍යවරයා පොලිස් අත් අඩංගුවට පත් විය.

ඔහුව අත් අඩංගුවට ගන්නේ රෝහල් සුළු සේවක පිරිස ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිය රාජකාරිවලින් බැහැරව විරෝධතාවයක් දියත් කිරීමෙන් පසුය.

මෙහිදී සුළු සේවකයින් 03ක් විසින් තමන්ට ද පහර එල්ල කළ බව විශේෂඥ වෛද්‍යවරයා සිදුකළ පොලිස් පැමිණිල්ල ගැන විමර්ශනය නොකර ඔහු සේවිකාවකට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තබේ.

මෙම ක්‍රියාවට එරෙහිව සියලුම වෛද්‍යවරුන් සහ හෙදියන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමග ඊයේ දිනයේ දී මෙම සුළු සේවකයින් තිදෙනා අත් අඩංගුවට ගෙන ලබන 26වන දා තෙක් බන්ධනාගාරගත කළේය.