අද්භූත ශබ්දයක් ගැන කොත්මලේ හැදුණුවැව ප්‍රදේශවාසින් භීතියෙන්

අද්භූත ශබ්දයක් ගැන කොත්මලේ හැදුණුවැව ප්‍රදේශවාසින් භීතියෙන්

කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයේ පොළොව යටින් ඇසෙන අද්භූත භයංකාර ශබ්දයෙන් හා ප්‍රදේශයේ පුරාණ කාලයේ සිට පැවැති දෛනික පරිභෝජනයට ලබාගත් ජල මූලාශ්‍ර හිටිහැටියේ සිදියාම නිසා භීතියට පත් ප්‍රදේශවාසීන් දින 4ක් නිදි වර්ජිතව විසඳුම් සොයන්නට දිවා රෑ එක තැනකට එකතු වන බවත්, මේ පිළිබඳව කඩිනමින් පර්යේෂණයක් හා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති නන්දන ගලගොඩ මහතා පැවසිය.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කියා සිටියේ කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවක් (18) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ, පොදු ක්‍රීඩා භූමියේ පොළොව අභ්‍යන්තරයෙන් වැසි සහිත කාල වලදී ඇසෙන ඉතාමත් බියකරු ශබ්දයෙන් පීඩා විඳින ජනතාවගේ ඉල්ලීමට අනුව ඔහුන් නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දීමේ අරමුනෙන් අදාළ භූමි ප්‍රදේශය මේ වන විට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවට භාජනය කර තිබූ අතර එහිදී කිසිදු අනතුරුදායක හෝ ආපදා තත්ත්වයක් තහවුරු වී නොමැති අතර කඩිනමින් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්‍යාංශය ලවා විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවය.

මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතා අදහස් දක්වමින් කියා සිටියේ මුලින් වැවක් ව තිබුණු ස්ථානයක් 2013 වර්ෂයෙදී පස් පුරවා ක්‍රීඩාංගණයක් බවට පත් කළ වෑතලාව ක්‍රීඩාංගනය පිහිටා ඇති භූමි ප්‍රදේශයේ ඇතිවන ඝෝෂාකාරී ශබ්දයක් නිකුත් වීමේ සිද්ධිය සම්බන්ධව ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පූඩළුඔය පොලීසිය , ග්‍රාමසේවා නිලධාරිවරයා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ කොත්මලේ වේල්ල භාරව කටයුතු කරන නිලධාරීන් සමග සිද්ධිය සම්බන්ධ වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයට ගොස් මූලික පරීක්ෂණයක් පසුගිය දා සිදුකළ ද ඒ පිළිබඳව මහජනතාව සෑහීමකට පත් නොවන බැවින් දිස්ත්‍රික් ලේකම් වරයාගේ උපදෙස් පරිදි භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයට එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විමට ලිපියක් යොමුකර ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

උද්ගතව ඇති ගැටලුව සම්බන්ධව ප්‍රදේශවාසී කිහිප කිහිපදෙනෙකුගෙන් අප කළ විමසුමකට ඔවුන් ඔවුන් කියා සිටියේ වැසි සහිත කාලවලදී රාත්‍රි කාලයේ ප්‍රදේශයේ පොදු ක්‍රීඩාංගණය හැටියට භාවිතා කරන භූමියේ අභ්‍යන්තරය සිට මුළු ගමටම ඇසෙන පරිද්දෙන් යන්ත්‍රයක් ක්‍රියා කරනවා මෙන් භයානක විශාල ශබ්දයක් වරින් වර ඇසෙන බවයි.

අපේ ගමේ මේ භයානක ශබ්දයයි වෙන්නේ දැනට දවස් හයක හතක ඉඳන් වගේ, අපි පුංචි කාලේ ඉදන් ක්‍රීඩා කරපු වැස්සට වතුර පිරිලා තියෙද්දි ඔරු පැදපු ගමේ ක්‍රීඩාංගනයේ භූමියේ ඇතුලේ ඉදං ඉස්සර මේ ක්‍රීඩාංගනයේ වැස්සක් ආවහම වතුර පිරෙනවා හරියට වැවක් වගේ ඒකෙ අපේ දරුවෝ විතරක් නෙමේ අපිත් බැහැලා සෙල්ලම් කරල තියෙනවා ඔරු පැදලා තියෙනවා.

දැන් දවස් ගානක් වැස්සත් වතුර පොදක්වත් මේ භූමියේ රැඳෙන්නේ නැහැ කොහෙන් වාෂ්ප වෙනවද කියලා හොයා ගන්නත් බෑ මේක නිකන් මායාවක් වගේ.

ක්‍රීඩාංගනයේ වටේට ජල මූලාශ්‍ර ගොඩක් තිබ්බා ඒ කියන්නේ නාන පිහිලි , ලිඟු වගේ දේවල් ළිංවලින් ජල මට්ටම එකපාරටම පහලට බැස්සා නාන පිහිලි නැත්තටම නැතිවෙලා වතුර බිංදුවක්වත් එන්නැති තරමට පත්වුණා.

තවත් අපිට වැඩිපුරම බය හිතුනේ මීට කලින් එතනට හවස හය වෙනකොට කුළු හරක් ගෝන්නු එහෙම එනවා කූඩැල්ලෝ පිරිලා අඩිය තියන්න් බැරි තරමට දැන් ඒ මොකෙක්වත් නෑ.

පොළොව අස්සෙන් එන සද්දෙ ගැන කියනවා නම් අමුතුම භයංකාර සද්දයක් තමයි ඇහෙන්නේ හරියට පෙට්රල් වතුර මෝටරයක් ක්‍රියාත්මක කරා වගේ සද්දයක් දෙගුණ තෙගුණ වෙලා ඇහෙනවා පවුල් 137 ක් ජීවත්වෙන ගම්මානයටම මේ සද්දෙ භයානක විදිහටම ඇහෙනවා.

ක්‍රීඩාංගනය අවට තියෙන ගෙවල් 15 – 20 ඉන්න අයට මේක තවත් දරාගන්න බැරි ප්‍රශ්නයක් වෙලා කොහේ මොහොතේ මොනවා වෙයිද කියලා කියල හිතා ගන්නවත් බැරුව දවස් ගානක් නිදාගන්නෙ නැතුව ප්‍රජා ශාලාව ගාවට ඇවිත් වාඩි වෙලා ඉන්නවා.

මේ ප්‍රශ්නෙට අපට විසඳුම් හොයන්න බැහැ. අපි මේ ගැටළුව ගැන සමාජ මාධ්‍ය වල ද පළ කළාට පස්සෙ කොත්මලේ ප්‍රාදේශීය ලේකම්තුමා පූඩළුඔය පොලිසියත් එක්ක ඇවිල්ලා මේ ගැන බැලුවා.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ඇවිත් නිකං අපි බලනවා වගේම උඩින් බලලා කිවුවේ මේකෙ කිසිම අවුලක් නැහැ ,
අඩුම තරමින් කෝටුකෑල්ලකින්වත් ඇනලා බැලුවේ නැහැ පොළොවට. එයාලා එන්නංවාලේ ඇවිල්ල බලන්නං වාලේ බලලා ගියා මොකුත් නැහැ කියලා ගියා.

මෙහි ජීවත් වෙලා ඉන්න අපිට තමයි තියෙන බය ඔක්කොම තියෙන්නෙ දැන් නං ඇත්තටම මරණ බයකුත් තියෙනවා ,
මේ අවට කුඩා දරුවන් වැඩිහිටියන් සහ රෝගීන් තියාගෙන ඉන්න මේ දවස්වල ඉන්නේ පුදුමාකාර මානසික පීඩාවකින් ,
ගමේ ජනතාව අසරණ වෙලා ඉන්නේ මේ තත්ත්වය ගැන හිතාගන්න බැරුව.

අපි රජයෙන් හා වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ පින් සිද්ධ වී මේ ප්‍රශ්නයට හරිහැටි විසඳුමක් ලබා දෙන්න.

පොළොව හා සම්බන්ධව කැණීම් කරන වගකිවයුත්තන් මෙහෙට ගෙන්නලා හරි විදිහට කැණීම් කරන පරීක්ෂණයක් කරලා සද්දයක් ඇහෙන්න ඇයි වටේ පිටේ තියෙන ජල මූලාශ්‍ර එකපාර නැති වෙන්න හේතුව මොකක්ද කියන එක අපට පැහැදිලි කරලා දෙන්න.

ඉදිරියට අපි කරන්න ඕන මොනවද කියන දේත් අපිට කියන්න එතකන් අපට නින්දක් නං යන එකක් නැහැ යනුවෙන් ප්‍රදේශවාසීන් කීය.