කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලට කාන්තා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක්

කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලට කාන්තා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක්

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදෙන ප්‍රධානතම රෝහල වන අතර මෙම රෝහල මඟින් දිස්ත්‍රික්කයේ 150,000 අධික පිරිසකට සෞඛ්‍ය පහසුකම් සලසයි.

විවෘත කෙරුණු කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මඟින් උතුරේ මාතෘ සහ අලුත උපන් බිළිඳු රැකවරණය සැලසීම වැඩි දියුණු කරන අතර, අලුත උපන් දරුවන් සහිත කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතා සපුරාලමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කරනු ඇත.

සමරු ඵලකය නිරාවරණය කර කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කිරීමට ද එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2017 වසරේ යහපාලන රජය යටතේ මම ව්‍යාපෘතිය ආරම්භ කළද කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එහි කටයුතු අවසන් කිරීමට නොහැකි වූ නමුත් අද එය සාර්ථකව නිම කර කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි.

කාන්තා අයිතිවාසිකම් සුරුකීම වෙනුවෙන් රජය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කාන්තාවන් නීතියෙන් බල ගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

 

Share This