පුද්ගලයෙක් පැහැරගෙන ගොස් වධකාගාරයක රඳවා දවස් 25ක් තිස්සේ දස වධ දීලා

පුද්ගලයෙක් පැහැරගෙන ගොස් වධකාගාරයක රඳවා දවස් 25ක් තිස්සේ දස වධ දීලා

කිළිනොච්චියේදී කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පැහැරගෙන ගොස් දින 25 ක් තිස්සේ වධකාගාරයක රඳවාගෙන වදහිංසා සිදුකල පුද්ගලයෙක් ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී ඊයේ (26) කිලිනෙච්චිය පොලීසියට භාර වී තිබේ.

භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සිංහරාජන් ජයකුමාර් නමැති මොහු පසුගිය 02 වනදා සිට අතුරුදහන්ව ඇතැයි ඔහුගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිළි කර තිබුණි.

තමන්ව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන දිනෙන් දින විවිධ ස්ථාන වලට රැගෙන ගොස් වධ හිංසා කරමින් පහරදුන් බවත් එසේ රඳවා සිටි අවස්ථාවක එම ස්ථානයෙන් ඉතා අසීරුවෙන් පැන පොලීසියට පැමිණි බවට අදල පුද්ගලයා විසින් පොලීසියට පවසා ඇත.

එලෙස පැහැරගෙන ගොස් තිබූ කාලය තුලදී එක් එක් සිද්ධීන් ගැන තොරතුරු විමසා සිටි බවත් තොරතුරු නොදන්නා බව කී අවස්ථාවල දී ඒ පිරිස තමන්ට ඉතා අමානුෂීය අන්දමට පහර දුන් බවත් එම කණ්ඩායමේ පුද්ගලයින් අට දෙනෙකු පමණ සිටි බවත් ඔහු වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා තිබේ.

කිළිනොච්චියේම පදිංචි තමන්ව පැහැර ගෙන ගොස් මේ අන්දමට වධ හිංසා සිදු කරන ලද්දේ කවර හේතුවක් මතද යන්න තමන් නොදන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, පොලීසිය විසින් එම පුද්ගලයාගේ තොරතුරු වලට අනුව රඳවා සිටි ස්ථානයකට ගොස් පරික්ෂා කර ඇතත් කිසිවෙක් නොසිට ඇති අතර අදාල පිරිස් කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් තොරතුරක් නොමැති බවටත් එම පිරිස් සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත්, පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාට වදහිංසා දීමෙන් ඇති වූ කැපුම් තුවාල හේතුවෙන් ඔහු කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කර ඔහුට දැඩි ආරක්ෂාවක් ලබා දීමට පොලීසිය කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරගෙන යයි.

Share This