කෙහෙළියගේ තවත් ගිණුම් දෙකක් අත්හිටුවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝග කර තිබේ.
අදාළ ගිණුම් දෙකෙහි දළ වශයෙන් රු. මිලියන 20ක් මුදලක් පවතින බවයි පැවසෙන්නේ.
දූෂණ මර්දන පනත යටතේ සිදුකෙරෙන විමර්ශන වලට අදාළව මෙම ගිණුම් දෙක දින හතකට අත්හිටුවා තිබූ අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම අත්හිටුවීම දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බව කොමිසම සඳහන් කළේය.
මීට පෙර කෙහෙළිය රඹුක්වැල්ලට, ඔහුගේ බිරිඳට සහ තවත් ඥාතීන්ට අයත් වත්කම් කිහිපයක් දැනට පවතින විමර්ශන වල කොටසක් ලෙස අත්හිටුවන ලදී.
2024 ජුලි 5 වැනි දින කොළඹ මහාධිකරණය විසින් කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් තිදෙනෙකු සහ බෑණාට අයත් ජීවිත රක්ෂණ ඔප්පු සහ පෞද්ගලික බැංකුවක රඳවාගෙන සිටි රුපියල් මිලියන 97.125ක් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලදී.
පසුව මෙම නියෝගය 2025 ජනවාරි 4 දක්වා දීර්ඝ කරන ලදී.