කෙහෙළිය ඇතුළු සැකකරුවෝ දරුණු මානසික රෝගී තත්ත්වයක

කෙහෙළිය ඇතුළු සැකකරුවෝ දරුණු මානසික රෝගී තත්ත්වයක

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් හතරදෙනා දිවි නසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් එබැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඔවුන් යොමු කර ඇප ලබා දෙන ලෙසත් එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව ඊයේ (22) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත් බෝගහපිටිය මහත්මිය නියෝග කළේ ඊට අදාළ ඉල්ලීම් මෝෂන් පත්‍රයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පළමු වන සැකකරු සුදත් ජානක, හත්වන සැකකරු රත්නකුමාර හේරත්, අටවැනි සැකකරු හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ දොළොස්වන සැකකරු විජිත් ගුණසේකර යන අය වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට එහිදී අවසර ඉල්ලා සිටියේය.

එම සැකකරුවන් හතර දෙනා හෘද රෝග, මානසික රෝග, පිළිකා රෝග, කායික රෝග සහ ආමාශ රෝගවලින් පෙළෙන බැවින් ඒ සම්බන්ධයෙන් වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටියහ.

හයවැනි සැකකරු ජනක චන්ද්‍රගුප්ත සහ දහවන සැකකරු සමන් රත්නායක යන සැකකරුවන් දෙදෙනා ජීවිත අවදානම් තත්ත්වයක පසුවන හෘද රෝග සහ විෂාදය රෝගයෙන් පෙළෙන බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාවක් මගින් කරුණු තහවුරු කර ඇති බැවින් ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පසුගිය 08 වැනිදා නියෝග කළාය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන අය මෙම නඩුවේ සැකකරුවෝ වෙති.

මෙහි සිව්වැනි සැකකාර හිරාන් ධනජංය, පස්වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජානක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක යන අය පමණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කර ඇත.

එම සැකකරු මේ වන විට විදෙස්ගතව සිටියි. එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා තිබේ.

12 වන සැකකරු වන විජිත් ගුණසේකරගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර ඒ පිළිබඳව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් හතර දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

සැකකරුවන් 12 දෙනාගෙන් හත් දෙනෙකු ඇපමත මුදා හැර තිබේ. එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඉතිරි සැකකරුවෝ හතර දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටිති.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 02 වැනිදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.