කෙහෙළියගේ ලෙඩ ගැන හොයන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක්

කෙහෙළියගේ ලෙඩ ගැන හොයන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ රෝගී තත්වයන් ඇති වීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට හෘද රෝග” විකලාංග රෝග” පෙනහළු රෝග” සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් ඇතුලත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට වැඩිදුරටත් නියම කළාය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ලබන 26 වැනිදා වන විට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරවීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශනයේ 08 වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබු කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අන්දමේ රෝගී තත්වයකින් පසුවන බවත් පසුගිය 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් දැනුම් දෙමින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොමැතිව නඩුව විමසන ලදී.

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ වෛ්‍ය කපිල වික්‍රමනායක මහතා ගිලන් රථයකින් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පපුවේ වම් පස වේදනාවක් ඇති බවත් ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බවත් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් කර තිබු අතර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට ප්‍රතිකාර කළ සිංගප්පුරූ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු විසින් නිකුත් කළ වෛද්‍ය නිර්දේශ වල ඡායා පිටපත්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය මෝෂමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රෝගී තත්වයන් සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලෙන් හෝ ජාතික රෝහලෙන් ප්‍රකිතාර කිරීමට හැකියාව ඇද්ද? පසුගිය පෙබරවාරී 03 වැනිදා සිට 14 වැනිදා දක්වා ඔහුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව 15 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරමේ රෝගී තත්වයකින් ඔහු පසුවුණේද? යන්න සම්බන්ධයෙන් විද්‍යාත්මක හේතූ දක්වන ලෙස විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියම කරන්නැයි ඉල්ලීමක් කර තිබිණී.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබු කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට ජාතික රෝහලෙන් ප්‍රතිකාර දීමෙන් අනතුරුව පසුගිය 15 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට යම් බාධාවක් තිබුණේද? යන්න සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයෙන් හේතූ විමසන්නැයි ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විශේෂඥ වෛද්‍ය මණ්ඩලය හමුවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කැඳවා කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා පසුගිය 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබු බාධාව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට නියම කරන්නැයි අධිකරණයන් ඉල්ලීමක්ද කළාය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතතුරුව පැමිණීල්ලේ ඉල්ලීම් වලට අවසර දෙමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය මේ සම්බන්ධ වාර්තාව ලබන 26 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

Share This