කෝටියක භාණ්ඩ කටුනායකින් පන්නන්න ගිය ව්‍යාපාරිකයෙකු මාට්ටු

කෝටියක භාණ්ඩ කටුනායකින් පන්නන්න ගිය ව්‍යාපාරිකයෙකු මාට්ටු

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් රේගු බදු නොගෙවා සූක්ෂම ලෙස මෙරටට ගෙනැවිත්, කටුනායක ගුවන් තොටුපොළ “හරිත මාවත” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යාමට තැත් කළ ගුවන් මගියෙකු අද (09) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගමුව ප්‍රදේශයේ පදිංචි, ගුවන් මගින් භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

සැකකරු අද අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ ස්මාර්ට් ජංගම දුරකථන 152 ක්, ටැබ් පරිගණක 05 ක්, විවිධ වර්ගයේ විස්කි බෝතල් 38 ක්, විද්‍යුත් දුම්වැටි 44 ක් සහ දුම්වැටි තොගයක් ද සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මෙම ගුවන් මගියා අත්අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මියගේ ප්‍රදානත්වයෙන් යුතු රේගු නිලධාරීන් පිරිසක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.