කැරට් මිල යළිත් ඉහළට

කැරට් මිල යළිත් ඉහළට

පසුගිය සතියේ යම් තරමකින් පහත වැටී තිබුණ එළවළු තොග මිල යළි ඉහල ගොස් ඇතැයි, කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදුන් පවසයි.

උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂීත ආර්ථීක මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල පසුගිය සතියේ රුපියල් පන්සියයත් රුපියල් හත්සියයත් අතර මිලක පැවති අතර එම මිල මේ වන විට රුපියල් දහසත් එක්දහස් පන්සියයත් අතර දක්වා ඉහල ගොස් ඇති බවත් පසුගිය සතියේ පහත වැටී තිබු සෑම එළවළු වර්ගයක්ම මේ වන විට රුපියල් දෙසියත් හාරසියත් අතර මිලකින් ඉහල ගොස් ඇති බවත් වෙලෙදුන් කියා සිටී.

වැලිමඩ, කැප්පෙටිපොල, බෝගහකුඹුර, බොරලන්ද සහ ඌව පරණගම ප්‍රදේශවල කුඹුරු ඉඩම් වී වගාව සදහා සුදානම් කිරීමට සිදුවීම හේතුවෙන් ගොවින් ඒවායේ තිබු එලවළු වර්ග පසුගිය සතියේ වැඩිපුර ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ඒම හේතුවෙන් එළවළු මිල පහත වැටුණු බවත් එම එළවළු අවසන් වීමත් සමග නැවත මිල ඉහල යමින් ඇති බවයි, වෙලෙදුන් කියා සිටින්නේ.

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක මේ වන විට පවතින තොග මිල

කැරට් 1400 – 1500, බෝංචි 800 – 900, ලීක්ස් 450 – 500, සලාද 1400 – 1500, අමු මිරිස් 850 – 900, නෝකෝල් 400 -500, තක්කාලි 550- 600, රාබු 140 – 150, මාළු මිරිස් 700- 800, වම්බටු 500 – 600, ගෝවා 550 – 600, කොළ බීට් 550 – 600