අඛණ්ඩ විදුලිය සැපයුමට ඉතිහාසය පුරාම බාධා කළේ ජවිපෙයි –ඇමැති කංචන විජේසේකර

අඛණ්ඩ විදුලිය සැපයුමට ඉතිහාසය පුරාම බාධා කළේ ජවිපෙයි –ඇමැති කංචන විජේසේකර

බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනෑම විවාදයකට තමා සූදානම් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිය බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඉල්ලුමට අනුව අඛණ්ඩ විදුලිබල සැපයුමකට අවශ්‍ය නව බලාගාර ඉදිකිරීමේදී ඉතිහාසය පුරා බාධා කළේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති යැයි ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ඒ මහතා එසේ පැවසුවේ කොළඹ පැවති ‟පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඇමැති කංචන විජේසේකර මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අපේ රටේ විදුලිබල අර්බුදයට හේතු වුණු දේශපාලන කණ්ඩායම් හිටියා.මිලදී ගැනීම් කරගන්න බැරිව පැය 16ක් විදුලිය කප්පාදු කළේ ආර්ථික අර්බුදය නිසා.

යුක්රේන රුසියානු යුද තත්ත්වයත් එක්ක ශීඝ්‍රයෙන් දැවි තෙල් හා ඉන්ධන මිල ඉහළයෑම නිසා පිරිවැය වෙනදාට වැඩිය දරන්න සිදු වුණා.

ඩොලරයේ මිල ඉහළයෑමෙන් පිරිවැය වැඩිවීම නිසා අපේ ජනන සැලසුමේ පහසුකම් තිබුණත්, පිරිවැය පාලනය කරගන්න බැරිවුණු නිසා විදුලිය ලබාදීමට නොහැකි වී තිබුණා.

අපට කරන්න තිබුණු අමාරුම, අසීරුම, නිවැරදිම තීන්දුව තමයි ඒ අවස්ථාවේ පිරිවැය ගැළපෙන ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් අඛණ්ඩ විදුලිය ලබාදීමක් සිදු කරන එක.

ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක් පත්වෙන්නේ අමාරු, අසීරු, නිවැරදි තීන්දු තීරණ ගැනීමටයි. එවැනි නිවැරදි තීන්දු ගැනීම නිසා අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කරන්න පුළුවන් වුණා.

ඒ වගේම රටට බරක් වෙලා තිබූ විදුලිබල මණ්ඩලයේ ගැටලු විසඳා ගන්නත් පුළුවන් වුණා.