කඹුරුපිටියේ ගුරුවරිය ඝාතනයට මවත් අත්අඩංගුවට

කඹුරුපිටියේ ගුරුවරිය ඝාතනයට මවත් අත්අඩංගුවට

කඹුරුපිටිය පොලිස් වසමේ මාතර මාර්ගයේ නිවසක් තුළ තරුණ කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වූ කාන්තාවගේ මව සහ සොහොයුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (31) අලුයම් කාලයේ මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 33ක ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.

ඇය සිය මව සහ වැඩිමල් සහෝදරයා සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පිහියකින් සහ යකඩ මල්⁣ පෝචිචියකින් සිදුකළ පහරදීමකින් 33 හැවිරිදි මෙම ගුරුවරිය ඝාතනය කර තිබූ අතර, පොලිසිය සැකපළ කරන්නේ පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් මත මෙම අපරාධය සිදුකරන්නට ඇති බවයි.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ට ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව විසින් පොලිසිය වෙත ලියන ලදැයි සැකකරන ලිපියක් ද නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

තමන් විසින් සිය දියණිය ඝාතනය කළ බව එහි සඳහන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්වූ දියණිය වසර කිහිපයක සිට දේපළ ඉල්ලා තමන්ට නිරන්තරයෙන් කරදර කරන බවත් අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

දියණිය විසින් තම ගෙළ මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ දී ඇයව මෙලෙස ඝාතනය කළ බවත් මව විසින් ලියන ලද ලිපියේ සඳහන්.

මේ අතර පොලිසිය විසින් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේ දී සැකකාර මව පුටුවක් මත සිහි මද ගතියකින් වැටී සිටිය දී හමුව ඇති අතර, ඇය රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

76 හැවිරිදි මව කිසියම් ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවෙන් පානය කර මෙලෙස සිහි මද ගතියට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ ,අනුව ඇය සිය දිවිනසාගැනීමට යම් උත්සාහයක් ගෙන ඇති බවට ද පොලිසිය සැකපළ කරනවා.