වසර 31කට පෙර කල ඝාතනයකට කළුතර තුනක් පෝරකයට

වසර 31කට පෙර කල ඝාතනයකට කළුතර තුනක් පෝරකයට

වසර 31කට පෙර පොලුමුගුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ තිදෙනකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඊයේ (10) ඔවුන්ට මරණ දඬුවම නියම කර තවත් විත්තිකරුවකුට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

මීගමවත්ත ජනපදය, 5 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි ධනපාල ප්‍රනාන්දු නමැත්තා 1992 ජනවාරි මස 15 හෝ ඊට ආසන්න දිනක නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී පොලුමුගුරුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා නඟා ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

එකී නඩුවේ 3,4 සහ 5 වන විත්තිකරුවන් වන, වලගෙදර, පල්ලේගොඩ පදිංචි මල්මුතුගේ දයාරත්න නොහොත් ඔලිවර්, නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි අනගිපුර ආරියරත්න නොහොත් ලොක්කා, 5 කණුව කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක ප්‍රනාන්දු නොහොත් ප්‍රේමතිලක ප්‍රනාන්දු නමැති අයට මෙසේ මරණ දඬුවම් නියම කෙරිණි.

1 වන විත්තිකරු වන බේරුවල, කාලවිල ප්‍රදේශයේ පදිංචි අනගිපුර ප්‍රේමතිලක නොහොත් රත්නා යන අයට වසර 10ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද එකී වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවම් ද නියම කළේය.

එකී නඩුවේ 2 වන විත්තිකරු පිළිකා රෝගයකින් මියගොස් ඇති බවට අධිකරණයේදී අනාවරණය විය.

දෙපාර්ශ්වය අතර ඇති වූ කෝලාහලයකින් පසු නවුත්තුඩුව, කීරන්තිඩිය ප්‍රදේශයේදී පොලුමුගුරුවලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබිණි.

වසර 31කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, විත්තිකරුවන්ගේ පවුලේ ඥාතීහු පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.

Share This