කබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවේ අද දුන් නියෝගය

කබ්රාල්ගේ ග්‍රීක බැඳුම්කර නඩුවේ අද දුන් නියෝගය

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පිළිතුරු දේශනය පිළිබඳ නියෝගය පෙබරවාරි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය දැනුම් දුන්නේය.

2012 වසරේ ග්‍රීක ආර්ථිකය බිඳ වැටෙන බව දැනදැනම ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ආර් .එස්.එස් සපුවිද මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් විත්තියේ නීතිඥවරු විසින් මීට පෙර මූලික විරෝධතා ගොනුකර තිබුණි.

එම මූලික විරෝධතා වලට අදාළව අල්ලස් කොමිසම විසින් අද පිළිතුරු ලිඛිතව ඉදිරිපත් කර ඇත.

ඉන් අනතුරුව මේ පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා නියෝග කර තිබේ.