ජොන්ස්ටන්ගේ සතොස නඩුවට අද අධිකරණය දුන් නියෝගය

ජොන්ස්ටන්ගේ සතොස නඩුවට අද අධිකරණය දුන් නියෝගය

හිටපු වෙළෙඳ අමාත්‍යවරයෙකු වූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් වැඩිදුරු සාක්ෂි විභාගය සඳහා ජුනි මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට නඩු පවරනු ලැබීය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රාජකාරී කටයුත්තක් සඳහා විදේශගත වී සිටින හෙයින් සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුව, වැඩිදුර සාක්ෂි විභාගය ජුනි 03 වනදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අවවාද කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.