CIDයට ප්‍රකාශයක් දීමට තමා සූදානම් බව ජොන්ස්ටන් කියයි

CIDයට ප්‍රකාශයක් දීමට තමා සූදානම් බව ජොන්ස්ටන් කියයි

හෙට (23) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී සොයාගත් ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී BMW මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් මීට පෙර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබීය.

එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන 25 වනදා කැඳවීමටද නියම වුණි.