ඔන්ලයින් රැකියා දෙන හොර ජාවාරමක් රට පුරා
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව පවත්වාගෙන යන අර්ධකාලීන රැකියා උපදේශන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ ජනතාව රවටන වංචනික ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තාවේ.
මේ සඳහා මුහුණු පොත ඇතුළුව අන්තර්ජාල සේවාවන් ඔස්සේ පළකර තිබෙන දැන්වීමකට අනුව එහි සේවය කිරීමට ඇති ස්ථානය මුල් පිටුව කාර්යාලය ලෙස සඳහන් කර තිබෙන අතර,මෙම රැකියාව අන්තර්ජාලය ඔස්සේ කරගෙන යාමට අවශ්‍ය වන්නේ ස්මාට් ජංගම දුරකතනයක් හෝ පරිගණකයක් බවද එම දැන්වීමෙහි සඳහන් කර තිබේ.
වට්ස්ඇප් මාර්ගයෙන් මෙම රැකියා ව්‍යාපෘතිය හා සම්බන්ධ විය හැකි බවද දෛනිකව ක්‍රියාත්මක මෙම අර්ධකාලීන රැකියාව මගින් දෛනිකව රුපියල් 17500 ත් 46000 ත් අතර මුදලක් පහසුවෙන් උපයාගත හැකි බවද එහි සඳහන් කර ඇත.
මෙහිදී සම්පූර්ණ කරනු ලබන එක් කාර්යයක් සඳහා රුපියල් 1500 ක දීමනාවක් ගෙවන බවද පවසා තිබේ.
මේ සඳහා සම්බන්ධවන්නන් හට සෑම දිනකම මිනිත්තු 3 කදී තමන්ට හිමි කොමිස් මුදල ලබාගත හැකි බව සඳහන් කර තිබුණද මෙම රැකියාවේ තත්ත්වය කුමක්දැයි දැන්වීම්කරුවන් විසින් සඳහන් කර නොමැත.
මීට සම්බන්ධ වන්නන් ඒ සඳහා ලියාපදිංචි වීම සඳහා රුපියල් 2000 ක මුදලක් කිසියම් ගිණුමකට බැර කළ යුතුව තිබෙන අතර , ඉන් පසුව ඔවුන් සමග සම්බන්ධ වූ දුරකතන සබඳතාව මෙම වංචනික ජාවාරම්කරුවන් විසින් විසන්ධි කර දමන බවද පැවසේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ බවට පළකර තිබීම හේතුවෙන් මේවනවිටද මෙම අන්තර්ජාල වංචාවට විශාල පිරිසක් හසුවී තිබෙන බවද වාර්තා වේ.