ජේතවන චෛත්‍යයේ හතර දිසාවට පැලුම් විවරයන් හතරක්
බුදුරජාණන් වහන්සේගේ “පටිය ධාතුව” තැන්පත් කර ඇති ලොව විශාලතම ගඩොලින් තනන ලද ස්තූපය ලෙස සැලකෙන අනුරාධපුර ජේතවනාරාම ස්ථූපයේ හතරැස් කොටුවේ සිට පහලට සතර දෙසින් ස්ථූප ගර්භය මැද්දට විහිදී යන පරිදි සිදුව ඇති පිපිරීම් හෙවත් පැලුම් විවරයන් ඇතැයි වාර්තා වේ.
මෙම පුපුරා යාම හතරැස් කොටුවේ සිට පහළට සිදුව ඇති අතර, හිඩැස් තුළින් වර්ෂා කාලයට ජලය ඇතුල්වීම සහ වියලි කාලයට ප්‍රසාරණය වීමත් හේතුවෙන් මේ ස්ථූපයටද මිරිස වැටිය ස්ථූපයට මෙන් අනතුරක් විය හැකි යැයි බැතිමතුන් පිරිසක් පැවසූහ.
වර්තමානයේ ජේතවනාරාම ස්තූපය ඉදිකර ඇත්තේ, පැරැණි ව්‍යුහය මත නැවත ගඩොල් තැන්පත් කිරීමෙනි. සංරක්ෂණ කටයුතු සඳහා ඉහළට යා හැකි පරිදි ඉදිකර ඇති යකඩ බට සහිත ස්ථානවලට ගොස් යම් යම් පිරිස් සෙල්පි ඡායාරූප ගන්නා බවටද චෝදනාවක් නැගේ.
පුරාවිද්‍යා හා විද්වත් සෘජු මැදිහත්වීමක් ලබාදී තාවකාලික පැලැස්තර විසඳුම් ලබා නොදී ස්ථිරසාර විසඳුමක් මේ සඳහා ලබා දීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් වන ලෙසට ජනතාව ඉල්ලීමක් කරති.
මහසෙන් රජ දවස ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේ දී ජේතවනාරාමය ඉදිකර ඇත. එය උසින් අඩි 400ක් ලෙස දැක්වේ.
සංස්කෘතික අරමුදල 1982 වසරේ ආරම්භ කරන ලද්දේ ද ජේතවනය කේන්ද්‍ර කර ගනිමිනි.
මේ ස්ථූපය ලෝක උරුම ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනියි.
අවුරුදු සිය ගණනක් වල් බිහි වී තිබූ ස්ථූපය සංරක්ෂණය, කර 2009 වසරේදී ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා ජනතා අයිතියට පත් කරන ලදී.
මේ සම්බන්ධයෙන් අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාගෙන් සිදු කල විමසීමකදී ඒ මහතා කියා සිටියේ, මේ සම්බන්ධව සතිපතා නිරන්තර සොයා බැලීම් සහ පිළියම් කරමින් අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවය.
මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකි බවද මහාචාර්ය ගාමිණී රණසිංහ සඳහන් කළේය.
මෙහි ඇති පිපිරිම් සම්බන්ධව විද්වත් කණ්ඩායමක් සහ ඉංජිනේරුවරුන් පිළියම් සිදු කරන බවද හෙතෙම කීවේය.
මෙහි පමණක් නොව රුවන්වැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ මහාචාර්ය ගාමීණී රණසිංහ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකි බවද පැවසීය.
පිපිරීම් ව්‍යූහාත්මක මෙන්ම මතුපිට පිපිරීම් සිදුවන බවද මහාචාර්ය ගාමිණි රණසිංහ පෙන්වා දෙයි.
ස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද යම් පිපිරීම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.
පිස්ම සවිකර සෑම සතියකම ස්ථූපය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බව කී මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා සංරක්ෂණ කටයුතු සඳහා ඉදිකර ඇති යකඩ බට සහිත ඉහළට යා හැකි ස්ථානයේ පිටස්තර කිසිවකුට සෙල්පි ඡායාරූප ගැනීම සිදු කරන බව කීම සම්පූර්ණ සාවද්‍ය කරුණක් බවද අවධාරණය කළේය.
යම් කිසිවෙක් එවැන්නක් සිදු කළහොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ ප්‍රකාශ කළේය.