ජනක රත්නායකගෙන් අල්ලස් ඉල්ලූ එම පක්ෂයේ සභාපති සහ ලේකම් යළි රිමාන්ඩ්

ජනක රත්නායකගෙන් අල්ලස් ඉල්ලූ එම පක්ෂයේ සභාපති සහ ලේකම් යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 10 වැනි දා දක්වා යළි බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය.

ඒ අනුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර සිටි හක්මන, හේවා වලිමුණිගේ නිහාල් ප්‍රේම කුමාර සහ දෙනගම රුවන්තිලක පේදුරුආරච්චි යන අය මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

දැනට ඇපමත මුදාහැර සිටින නිත්‍ය ලේකම් වන සිදුවේ පදිංචි මාර්ටින් සරච්චන්ද්‍ර වීරවර්ධන, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් වන හක්මන රංගන කුමාර පියදර්ශන, ගල්නෑවේ චන්දන සුගත් නිශාන්ත, ඔහුගේ බිරිඳ ගල්නෑවේ කපුරු බණ්ඩාගේ නිල්මිණී පුෂ්ප කුමාරි, හක්මන නිලුෂි සේනානායක හා ගම්පොළ සන්ධයා කුමාරී ස්වර්ණලතා යන සැකකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය.